ජයවර්ධන කේන්ද්‍රයෙන් මසකට ඉහත ලැබුනු ජයවර්ධන ජනාධිපතිවරයාගේ වෙළුම් තුනක චරිතාපදානයේ පළමු වෙළුම අවසන් කොට විවේකයක් ගනිමින් සිටින මොහොතක මේ සටහන ලියමි.
ජයවර්ධන තරම් මෙරට දේශපාලනයේ අහුමුලු ,ගැටලූ ,ගැට සහ වියවුල් ඇතිකළ දේශපාලකයකු නොමැත්තේය. ඔහුට හතළිහ දශකයේ සිට දේශපාලන පරිචයක් තිබුනද , අසූව දශකයේ ඔහු ගත් බොහෝ තීරණ සමමිතික රේඛාවෙන් අපගමනය වූවේ ඔහූගේම උද්දච්ච ස්භාවය නිසාවෙනි. ඒ නිසාම 77-80 තෙක් ඔහූ උදාකරගත් අද්වීතීය ආර්ථික පුනර්ජීවනය තම අවසන් ධූර කාලයේදි දැකිමට ඔහුට නොහැකිවිය. ඉන් එහාට ගොස් තමන්ගේ අනුප්‍රාප්තිකයාට දෙකොණ ඇවිළෙන විලක්කුවක් බඳු රටක් නිර්මාණය කොට ජයවර්ධන දේශපාලන වේදිකාවෙන් බැස ගියේය.
![]() |
වියපත් ජයවර්ධන |
අතිශය ශූර කපටි පාලකයෙක් වූ ඔහූගේ (මෙහි ශූරත්වය යනූ කපටි බවේ නාම පදය මිසක් ඔහූගේ ශූරත්වය නිරූපණය කිරිම නොවේ. ) පාලනය හොඳින්ම තේරුම් කරගත හැකි කරුණක් මෙහි මම උපුටමි.
අසූව දශකයේ මුල් අවදියේදි දෙ.එ.වි.පෙ (දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ) සිය විදේශීය සම්බන්ධතා භාවිතා කර ජයවර්ධන ආණ්ඩුව සමඟ සාකච්චා ආරම්භ කළේය. ඒ සඳහා ඔවුන් එ.ජා.ප සහ ෆෙඩරල් පක්ෂයේ එවකට කැනඩාවේ සහ එක්සත් ජනපදයේ සබඳතා යොදාගත්තේය.
දමිළ තරුණ සන්නද්ධ අරගලයක් ඒ සමය වනවිටත් යාපනයේ අඳුරු සෙවණැලි ඇති කරමින් සිටි මේ සමයේ ජයවර්ධනට දළුළමින් තිබුනු සන්නද්ධ අරගලයක සේයාවක් දැනුනද , ඔහු එය නොසලකා හැරියේද යන්න නම් තරමක අපහැදිලි කරුණකි. මුලින් කී ලෙස ජයවර්ධන තම න්‍යාය පත්‍රියෙන් පිට අඟලකදු නොපනිනෙකි . ඔහු සැබැවින්ම විශ්‍රාම ගන්නා තුරුම සැලකුවේ ඊළාම් යුද්ධය යනු උතුරේ ප්‍රශ්නයක් බවයි.
කෙසේ හෝ ඔහුට යාපනය තුළ Upper hand එකක උවමනාවක් තිබිනි. ඒ පාර්ලිමේන්තුව තුළ බලයේ විසිරි යෑම අවම කිරිම වෙනුවෙන් සහ 1982 ඔහු ගෙන ඒමට බලාපොරොත්තුවෙන් සිටි ජනමත විචාරණයේ සුමට බව පවත්වා ගැනිමටයි. ඒ නිසාම 1981 සංවර්ධන සභාවක් යාපනය තුළ පිහිටවීමට අවශ්‍යය කටයුතු ජයවර්ධන ජනාධිපතිවරයා කටයුතු කළේය. එය දෙ.එ.වි.පෙ දුටුවේ සැබෑ දේශපාලන ජයග්‍රහණයක් ලෙසය.
ජයවර්ධනගේ පැතුම වන්නට ඇත්තේ සිය පාක්ෂිකයන් ,මැරයන් සහ තගයන් වන ගාමිණි දිසානායක , වික්‍රමසිංහ වැන්නවුන් යොදවා කෙසේ හෝ සංවර්ධන සභා ඡන්දය ජයග්‍රහණය කිරිමයි. එවිට ප්‍රජාතන්ත්‍රවාදය උතුරේ ස්ථාපනය කළා සේම හවුල් බලයක වාසිය යන එක ගලෙන් කුරුල්ලන් දෙන්නකු බිඳහෙලිමේ වාසිය ගැනිමට ජයවර්ධන ගණන් හැදුවේය. මේ වෙනුවෙන් කූට අන්දමින් ඔහූ සමසමාජ පක්ෂය සහ දෙ.එ.වි.පෙ අතර පැවති සබඳතා පවා ඔහූ දෙපළු කළේය.
එමෙන්ම මෝඩයෙක් නොවන ජයවර්ධන සංවර්ධන සභා ඡන්දය තමන්ට ප්‍රජාතන්ත්‍රවාදි රාමුවෙ ජයගත හැකි යැයි නොසිතුවේය. ඒ වෙනුවට ඔහු කුරුණෑගලින් ගාමිණි ජයවික්‍රමගේ තග් බලකාය යවා කෙසේ හෝ ඡන්දය ජයග්‍රහණය කිරිමට මාන බැලුවේය. නමුත් ඒ වෙනුවෙන් රටට ගෙවන්නට සිදුවූවේ සුලුපටු මිලක් නොවේ. යාපනය පුස්තකාලය , යාපනය මන්ත්‍රී යෝගරාජාගේ නිවස , යාපනය නගර මැද වූ සශ්‍රීක කඩසාප්පූ සහ වසර ගණනාවක් යන තුරු දමිළයන්ගේ සිතේ සිංහලයන් කෙරෙහි වූ සැකය මේ සියල්ලම ජයවර්ධනගේ සෙල්ලමේ ප්‍රතිවිපාක විය.
හයෙන් පහක් සමඟ දකුණ දිනූ ජයවර්ධනට යාපනය සංවර්ධන සභා ඡන්දය ජයගත නොහැකි විය. සියලූම සභා දෙ.එ.වි.පෙ ජයගත් අතර දුම් රොටූ මැදින් එජාප මැරයන් යළි පැමිණිමට දූම්රියට නැඟිනි. නිවාස අහිමි වූ දෙමළ මන්ත්‍රීන් පසුව පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳ හඬ නැගුවේය. සිරිල් මැතිව් වැන්නවූන් පිළිතුරු ලෙස ඔවුනට සිනහසුනේය.
ජයවර්ධන ගැන නොදත් දෙ.එ.වි.පෙ සංවර්ධන සභා ඡන්දය දිනා , උතුර අර්ධ ස්වයං පාලනයක් තුළ ආර්ථිකමය දියුණුවකට සැරසිනි. විදෙස්ගත උගතුන්ගෙන් , ශ්‍රමිකයින්ගෙන් අප්‍රමිත ධෛර්‍ය ඔස්සේ අරමුදලක් සැකසුවේය. කෘෂිකාර්මික උපදෙස් , කර්මාන්ත උපදෙස් ග්‍රාමීයන්ට සැලසීමට උත්සුක විනි. නමුත් උතුරේ ලත් පරාජයෙන් වියරු වූ ජයවර්ධන විසින් උතුරේ සංවර්ධන සභා සඳහා අවශ්‍යය මුදල් වෙන් කිරිම් නවතා හැරියේ ය. මේ පිළිබඳ මනා උදාහරණයක් රාජන් හූල් සහ රාජනී තිරාණගම ලිව් Palmyra fallen (බිඳුණු තල් ගස ) කෘතියේ විස්තර කර ඇත.
පැවති ආරක්ෂක අංශ ඔස්සේ උතුරේ ජනතාවට අවශ්‍යය ආර්ක්ෂාව නොලැබෙන්නේ යන තර්කය මත දෙ.එ.වි.පෙ ජයවර්ධනගේ මධ්‍යය ආණ්ඩුවෙන් ග්‍රාම ආරක්ෂක සේවයක් ඉල්ලා සිටියේ ය. ජයවර්ධන විසින් එය ලබාදුන්නද සත පහක මුදලක් භාණ්ඩාගාරයෙන් ඒ සඳහා නිකුත් නොකළේය. ග්‍රාම ආරක්සකයන්ගේ නිල ඇඳුම ඔවුන් මසා ගත යුතු අතර , තේ කෝප්පයට පවා ඔවුන් ගෙවිය යුතු විය. එයින් සියල්ල අවුලෙන් අවුලට පත්විය.
1981 තම දේශපාලන පරාජයට ජයවර්ධන පිළිතුරු දුන්නේ එලෙසිනි. මෙයටත් බරපතළ තත්වයක් එකල යාපනයේ ඇතිවිමින් තිබිනි එනම් 1975 නගරාධිපති දොරෙඅප්පා ඝාතනයෙන් ඇරඹි තරුණ සන්නද්ධ අරගලයයි .
මුල් සමයේදි , නිවැරදිවම කිවොත් 1981 සංවර්ධන සභා තෙක් දමිළ තරුණ සටන්කරුවන් සිය දේශපාලනික ගුරුවරයා ලෙස දෙ.එ.වි.පෙ සැලකුවේය. ඕනෑම සන්නද්ධ අරගලයක මුල් අවධියේ සටන්කාමී බීජය ඇතිවන්නේ මෙවැනි සෛද්යාන්තික දේශපාලනික මුලධර්මවලිනි. නමුත් උණ්ඩ පිපිරීම ආරම්භ වු පසූ දේශපාලනික තර්ක වලට ලැබෙන්නේ අඩූ ප්‍රමුඛතාවයකි.
මෙයම උතුරේ සිදුවූවේ විහිළුසහගත අයුරිනි , ජයවර්ධන විසින් ග්‍රහණය තද කළෙන් වාසිය ලැබුනේ ඒ වනවිට තුවක්කු එකක් දෙකක් තබාගෙන තැන තැන මීනීමැරූ දමිළ තරුණයන්ටය. අසූව දශකය මැද භාගය විට අම්රිතලිංගම්ගේ දෙ.එ.වි
පෙ අභිබවා "අපේ කොල්ලෝ " නමින් හැඳින්වූ දෙමළ ඊළාම් අරගලය යළි හැරවිය නොහැකි අන්දමකින් උඩුදුව ගොස් තිබිනි. ජයවර්ධනට පාඩමක් ඉගැන්විමට හැක්කේ අපේ කොල්ලන්ට බව ඒ වනවිට දමිළ සමාජය තුළ කිදාබැස තිබිනි.
අවසන ,ජයවර්ධන දෙ.එ.වි.පෙ සහ දමිළ ප්‍රභූ දේශපාලනයට එරෙහිව ගැසූ තුරුම්පු හේතුවෙන් ප්‍රභාකරන් කෙනෙකු බෞතීස්ම ලැබිය හැකි බව ගණන් හදා බැලූවේද යන්න දන්නේ දෙයි හාමුදුරුවන් වහන්සේලාම පමණි.
මනුජය තෙන්නකෝන්
2025-04-09
Comments
Post a Comment