Monday, 28 April 2025

විජේසෝමට 100

 


 මම මෙළෝ මළ දානයක් නොදැන පත්තරකාරයෙක් වෙන්න දඟලන කාලෙක හරියටම 2007 අවුරුද්දේ මුල් හරියේ විජය පත්තරේ පොඩි කොලමක ලියවෙනවා.

2006 වසරේ සිදුවුනු විශේෂිත සිදුවීම් කියන විශේෂාංගය යටතේ,

"2006 ජනවාරි 18 දින ප්‍රවීණ කාටූන් ශිල්පී W.R විජේසෝම මියයයි කියලා. "

ඒ වෙනකොට මම විජේසෝම මහත්මයාගේ කාටූන් අතරෙන් පතර දිවයිනේ දැකලා තිබුනට. මම එයා ගැන හොඳටම කියෙව්වේ අසූව දශකයේ මුද්‍රණය වුනු "කල්පනා" සඟරාවේ පළවුනු ලිපි පෙළකින්. ඒ ලිපියේ විජේසෝම මහත්තයා Times of Ceylon කන්තෝරුවට ගොඩවැදුනු විදිය. දෙවනි ලෝක යුද්ධය නිසා අහිමි වූනූ විධිමත් අධ්‍යාපනය කොළ මහජන පුස්තකාලයෙන් අවිධිමත් ආකාරයට උකහා ගත්ත විදිහත් , ඒ වෙනකොට Times of Ceylon කතෲ වුනු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කැපී පෙනෙනම ආචාර්‍යවරයා විදියට වැඩ කරපූ "ඩොරික් ඩී සූසා" ගෙන් නියත විවරණ ලබපු විදියත් , පුංචි සිඤ්ඤෝ චරිතයේ විකාශනය ගැනත් , සිංහල සහ ඉංග්‍රීසී භාෂාවන් දෙකම මනාව හසුරවමින් කාටූන් ඇන්ද විදියත් , ජයවර්ධනගේ නාහය ලොකුවට ඇන්ද නිසා ලේක්හවුසියේදි උනු අකරතැබ්බයනුත්  බොහෝම අපූරුවට ලියලා තිබුනා.


විජේසෝමගේ රසකතා අහුරකුත් ඒ ලිපිපෙළේ ලියවිලා තිබුනා.


"ඉස්කොලේ සිංහල භාෂාවට අපිට සන්ධි ඉගැන්වූවා.දවසක්  ගුරුවරයා මගෙන් මං දන්න සන්ධි මොනව ඇහූවම මම කීවා


 "බොරැල්ලේ හංදිය , මරදාන හංදිය.


 ගුරුතුමා වහාම මට කීවා 

"ඉදගන්නව ඉදගනවා"


 කියලා. පසුකාලීනව කාටූන් ශිල්පියෙක් විමේද අත්‍යවශ්‍යය සාධකය වූනූ හාස්‍යය ඒ යුගයේ ඉදන් විජේසෝම මහතා තුළ වර්ධනය වූ බවට මේ කතාව හොඳ නිදසුනක්.


  ඒ ලිපියේ විජේසෝම මහත්තයා අලුත් අවුරුද්දක පළවෙනි දවසක ඇන්ද එක කාටූන් එකක මෙහෙම දෙයක් තිබුනා.  ඒ කාටූනයට අනූව අලුත් අවුරුදු තෑගී විදියට  ඇමතිවරුන්ට ලැබෙන්නේ , විශේෂයෙන්ම නත්තල් නිවාඩූව ගත කරන්න රට සවාරි යන උදවියට 


"ගෙදර නැත"  කියලා බෝඩ් ලෑල්ලක්. 


විජේසෝම මහත්තයාගේම ප්‍රතිබිම්භය වුනූ පුංචි සිඤ්ඤෝට ලැබිලා තියෙන්නේ


"හොඳ හයිය හත්තිය ඇති පන් මල්ලක්" 


විජේසෝමගේ පුවත්පත් ආගමනයේ සුවිශේෂිම කාටූනය විදියට හැඳින්වෙන්නේ 1948 අවුරුද්දෙදි  ඩී.ඇස් සේනානායකගේ කැබිනෙට්ටූවේ ප්‍රබලයෙක් වූ සර් ජෝන් කොතලාවල තම බෑගය (Baggae) ලන්ඩන් ගුවන්තොටුපළේ අමතක වීමේ සිද්ධිය අළලා ඇඳි කාටූනයයි. 

එම කාටූනයේදි සර් ජෝන් කොතලාවල පුවත්පතකින් තම නිරුවත වසා සිටින ආකාරය සිතුවම් කළ විගස එකල ටයිම්ස් සඟරාවේ සංස්කාරක වූ  Victor louis , මරදානේ හැඳි වැඩුනු මේ තරුණයාට ටයිම්ස් සඟරාවේ කතු මඬුල්ලට ඇතුල් විමේ අවසරය සැපයුවේය. 


 කාටූන් ශිල්පියෙක් විදියට තමා සතු වුනු ප්‍රතිභාව භාවිතා කරගෙන පෑන් ඉරි කිහිපයකින් සමාජ පන්තියේ වෙනස අන්න එහෙමයි විජේසෝම මහත්තයා සිතුවම් කරලා තිබුනේ .



තමන්ගේ ජිවිතේ අවසන් කාලය තෙක් කාටූන් අඳිමින් 1947-2005 කාල සීමාව පුරාවට දැඩි සමාජ බලපෑමක් කරපූ විජේසෝම මහත්තයා ගැන මගේ මතකය අලූත් උනේ නාලක එක්ක  සුමනපාල Assianmirror ට කරපූ පෝඩ්කාස්ට් එකෙන්. ඒකෙදි නාලක කියනවා විජේසෝම මහත්තයාහේ 100 වෙනි ජන්ම දිනය මේ අවුරුද්දේ යෙදෙනවා කියලා. 


කුඩා ශරීරයක් ඇතුළේ මහා පරිකල්පනයක් දරා සිටි මට කිසිදිනක හමුනොවූ විජේ රූපගේ විජේසෝම වෙනුවෙන් මේ වචන දහය ආදරයෙන් ලියා තබමි.


මනුජය තෙන්නකෝන්

2025-04-28.


Saturday, 26 April 2025

ලකාගේ මාරකය

 මේ දවස්වල උදේට නුවර අව්වට රත්වෙනවා, හවසට වැස්සට හේදෙනවා . ඒ අස්සේ  ගල්ගමුවේ ඉදන් ආවට කොළඹ හතේ කොල්ලෙක්ගේ පිං පාට තියෙන ලකාගේ මංගල වැඩේ බලන්න මම තකහනියක් ආවා. 



අපේ අයියලාගේ උනන්දුව හින්දා වැඩේ කලින්ම ස්පොයිල් වෙයි කියන බයට ඊයේ එළියට දාපූ වාලම්පූරිය අදම බලලා ඉවර කරා. කාස්ට් එක ගැන , ලකාගේ අධ්‍යක්ෂණය ගැන ගුණ අගුණ  අදත් හෙටත් තව කාලෙකුත් කට්ටිය ලියයි. යූටීයූබ් එකේ ඇති පදමට පෝඩ්කාස්ට් කෙරෙයි ,පත්තරකාරයෝ ලකාව හොයාගෙන ගෙදරටත් එයි. ඒහින්දා ඒ මොකුත් නොලියා ඉන්න මම හිතුවා. ඇත්තටම මම මොකුත් නොලියා ඉන්න හිතුවා. ඒත් බං අයියේ මේ ස්ක්‍රිප්ට් එක ගැන නොලීවොත් උඩ ඉන්න දෙයියන්නාස්සේලත් කෝප වෙන්න පුලුවන්.


ලකා කියන්නේ ලියන මිනිහෙක්. ලකා අපි කැමැති දේවල් වගේම අපි අහන්න අකමැති දේවලුත් ලියන මිනිහෙක්. දැන් ඉන්න එදා වේලට ස්ක්‍රිප්ට් ලියන තිර පිටපත් රචකයෝ ආත්ම පහක් මැරිලා ඉපදිලත් ලියාගන්න බැරි "කුඹියෝ" වගේ එකක් ලීව මිනිහෙක්. ඒත් "වාලම්පුරිය" ? මං හිතන්නේ ලකාත් ට්‍රයි කරොත් තව ටිකාක් මීට හොඳ එකක් ලියාගන්න පුලුවන් වෙයි. 


මේ කතාවේ තියනවා ගමක් , ඒ ගම ඇතුළේ මිනිහෙක් තමන්ගේ ගෑණිගෙන් කතා අහගෙන , ගෑණිගේ මල්ලීගෙන් උපදෙස් අහගෙන , ගමෙන් මූණ බලන්න බැරි තරමේ කුණූ කතා අහගෙන , පත්තරේ මූණ දාගෙන , ගුටි කාගෙන ,චාටර් කාගෙන මොකක්දෝ හොයනවා. ඌ දුව දුව ඒක හොයනවා . ඌ වගේම සාම්පලේ ඒත් වෙන හැඩතල වල මිනිස්සූ හත් දෙනෙකුත් මොනවදෝ හොයනවා. 


ඒ හොයන අතරේ කොච්චර කෙළ උනත් , අගුපිළක වැටෙන්න තරම් දිය උනත්.


" මැණික , මේ වැඩේ හරියනවා කියලා ".  


තමන්ගේ ගැණිට කියනවා.  ඒ මොරාල් එක මෝඩ කමද , කරන්න දෙයක් නැති අනාථ කමද එහෙම නැත්නම් ගමක ඉපදුන කරුමෙද කියලා රීදී තිරයේ ඉස්සරහා තක්කු මුක්කූ වුනු අපෙන් ලකා අහනවා. අපි ලකාට උත්තර නොදී තවත් කතාවට ආසක්ත වෙනවා.


මේ අතරේ මේ මිනිහා වතුරෙන් ගොඩට එනවා.


කිඹුලා වතුරෙන් ගොඩට ආවම නකුටූ බල්ලොත් හපන බව දැන දැනම මේ මිනිහා ගොඩටම ඇදෙනවා




"පිං කඳක් ගෙදර ඉන්නකොට ,ඒකීට තුරුල් වෙලා නිදාගන්නේ නැතුව එක එකාගෙන් මම ගුටි කනවා කියලා  "


 කියලා ඒ මනුස්සයා කෑගහනවා.  ඒත් හැමදේම අතෑරලා ආපහූ වතුරට පලයන් කීවට මනුස්සයා ගොඩම ඉන්නවා. ගුටි කකා , බලූ වෙවී තාමත් ගොඩම ඉන්නවා. ඒ වතුරේ ඉපදුන නිසා උරුම උනූ කාලකණ්නිකමද , වතුරේ හිටියත් ගොඩ හිටියත් තමන්ට තමන් වෙනුවෙන් හඬක් නඟන්න බැරි නිවට කමද කියලා ආපහු ලකා අපෙන් අහනවා. ප්‍රේක්ෂකාගාරය උත්තරයක් නොදී තාමත් කතාවට ඇලීලම ඉන්නවා. 



"මහත්තයා අපේ එකෙක් කීවට , අපි මහත්තයලාගේ එකෙක් නෙවෙයි නේද ?


 කියලා ගමෙන් ආව මිනිහා කතාව ඇතුළේ  නිතරම අහනවා . එක පාරක් දෙපාරක් නෙවෙයි තුන් පාරක්ම අහනවා. කඩ අයිති , ගාණට රැවුල කපපූ , අතේ මුද්දක් දාලා ජීප් එකක් එළවන මහත්තයාට ගමේ නාඩගම් නටන , සුද්දන්ට බොරු ඇන්ටික් විකුණන , සැලූන් දොරක් ඇතුළේ කොණ්ඩේ කපන , අතට අහුවෙනවනම් මාරක ළිඳේ බයික් එකක් හරි පදින උං සෙට් වෙන්නේ නෑ නේද කියලා ලකා ආපහු සැරයක් අහනවා. 


කන්න නොදන්න , බොන්න නොදන්න , විනෝද වෙන්න නොදන්න ගමකින් ආව කබරයෝ සෙට් එකකට නගරේ මහත්තුරු මස් කට්ටක් කටට දීලා උන්ගේ  අල්ලේ නටවනවා නේද කියලා ,ලකා කතාව ඇතුළේ විටෙන් විට අහනවා.  ඊළඟට මොකක් වෙයිද ? මොකක් වෙයිද කියලා තක්බීරී උනූ අපි තිරෙන් ඇස් එළියට නොගෙන පැය දෙක හමාරක්ම හෙමින් සීරුවට හුස්ම ගන්නවා.ලකාට උත්තර නොදීම ප්‍රේක්ෂකයෝ සිනමා ශාලාවෙන් එළියට එනවා. 


ඒ එනකොට ලකාගේ කතාවේ වගේම ගම්මූ සෙට් එකක් සුදු ඇදගෙන වැව රවූමේ මහ වැස්සට හේදෙනවා . ඈත පේන පත්තිරූප්පූව බලාගෙන ඒ උදවිය සාධූකර දෙනවා . වාලම්පුරියක් එක එක ස්වරූපයෙන් පෙන්නූම් කරනවා නේද කියලා ලකා අහන ප්‍රශ්නෙට විතරක් මම ඔව් !! කියනවා.



ගල්ගමුවේ ඉපදීලා ,එයාම කියන විදියට කොටූවේ බෝ ගහ ළඟින් බැහැලා ජිවිතේ පටන් ගත්ත ලක්මාල් ඇරෙන්න මෙහෙම එකක් ලියන්න පුළුවන් පුතයෙක් අපිට නෑ. දෙන්න උත්තර නෑ . ඊයේ ඉදන් ඔයායි ඔයාගේ කඩියෝ ටිකයි අවුරුදු හතක් මහන්සිවෙලා හදපූ මේ ප්‍රශ්ණාවලියට එන මාස දෙක ඇතුළේ මිනිස්සූ උත්තර දෙයි. ඒ උත්තර ෆේස්බූක් එකෙයි අරෙහි මෙහෙයි කියවලා ඔයා ආතල් එකක් ගන්න. තව කාලයක් ගන්න අයියේ !! මේ වගේම මාරකයකින් හම්බෙමූ.


මනුජය තෙන්නකෝන්

2025-04-26




 

Wednesday, 9 April 2025

ජයවර්ධන,ගින්දර සහ සෙල්ලම්

ජයවර්ධන කේන්ද්‍රයෙන් මසකට ඉහත ලැබුනු ජයවර්ධන ජනාධිපතිවරයාගේ වෙළුම් තුනක චරිතාපදානයේ පළමු වෙළුම අවසන් කොට විවේකයක් ගනිමින් සිටින මොහොතක මේ සටහන ලියමි.

  

 ජයවර්ධන තරම් මෙරට දේශපාලනයේ අහුමුලු ,ගැටලූ ,ගැට සහ වියවුල් ඇතිකළ දේශපාලකයකු නොමැත්තේය. ඔහුට හතළිහ දශකයේ  සිට දේශපාලන පරිචයක් තිබුනද , අසූව දශකයේ ඔහු ගත් බොහෝ තීරණ සමමිතික රේඛාවෙන් අපගමනය වූවේ ඔහූගේම උද්දච්ච ස්භාවය නිසාවෙනි. ඒ නිසාම 77-80 තෙක් ඔහූ උදාකරගත් අද්වීතීය ආර්ථික පුනර්ජීවනය තම අවසන් ධූර කාලයේදි දැකිමට ඔහුට නොහැකිවිය. ඉන් එහාට ගොස් තමන්ගේ අනුප්‍රාප්තිකයාට දෙකොණ ඇවිළෙන විලක්කුවක් බඳු රටක් නිර්මාණය කොට ජයවර්ධන දේශපාලන වේදිකාවෙන් බැස ගියේය.  

වියපත් ජයවර්ධන


   අතිශය ශූර කපටි පාලකයෙක් වූ ඔහූගේ (මෙහි ශූරත්වය යනූ කපටි බවේ නාම  පදය මිසක් ඔහූගේ ශූරත්වය නිරූපණය කිරිම නොවේ. )  පාලනය හොඳින්ම තේරුම් කරගත හැකි කරුණක් මෙහි මම උපුටමි.


  අසූව දශකයේ මුල් අවදියේදි  දෙ.එ.වි.පෙ (දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ) සිය විදේශීය සම්බන්ධතා භාවිතා කර ජයවර්ධන ආණ්ඩුව සමඟ සාකච්චා ආරම්භ කළේය. ඒ සඳහා ඔවුන් එ.ජා.ප සහ ෆෙඩරල් පක්ෂයේ එවකට කැනඩාවේ සහ එක්සත් ජනපදයේ සබඳතා යොදාගත්තේය. 

දමිළ තරුණ සන්නද්ධ අරගලයක් ඒ සමය වනවිටත් යාපනයේ අඳුරු සෙවණැලි ඇති කරමින් සිටි මේ සමයේ ජයවර්ධනට දළුළමින් තිබුනු සන්නද්ධ අරගලයක සේයාවක් දැනුනද , ඔහු එය නොසලකා හැරියේද යන්න නම් තරමක අපහැදිලි කරුණකි. මුලින් කී ලෙස ජයවර්ධන තම න්‍යාය පත්‍රියෙන් පිට අඟලකදු නොපනිනෙකි . ඔහු සැබැවින්ම විශ්‍රාම ගන්නා තුරුම සැලකුවේ ඊළාම් යුද්ධය යනු උතුරේ ප්‍රශ්නයක් බවයි. 


කෙසේ හෝ ඔහුට යාපනය තුළ Upper hand එකක උවමනාවක් තිබිනි. ඒ පාර්ලිමේන්තුව තුළ බලයේ විසිරි යෑම අවම කිරිම වෙනුවෙන් සහ 1982 ඔහු ගෙන ඒමට බලාපොරොත්තුවෙන් සිටි ජනමත විචාරණයේ සුමට බව පවත්වා ගැනිමටයි. ඒ නිසාම 1981 සංවර්ධන සභාවක් යාපනය තුළ පිහිටවීමට අවශ්‍යය කටයුතු ජයවර්ධන ජනාධිපතිවරයා කටයුතු කළේය. එය දෙ.එ.වි.පෙ දුටුවේ සැබෑ දේශපාලන ජයග්‍රහණයක් ලෙසය. 


  ජයවර්ධනගේ  පැතුම වන්නට ඇත්තේ සිය පාක්ෂිකයන් ,මැරයන් සහ තගයන් වන ගාමිණි දිසානායක , වික්‍රමසිංහ වැන්නවුන් යොදවා කෙසේ හෝ සංවර්ධන සභා ඡන්දය ජයග්‍රහණය කිරිමයි.  එවිට  ප්‍රජාතන්ත්‍රවාදය උතුරේ ස්ථාපනය කළා සේම හවුල් බලයක වාසිය යන එක ගලෙන් කුරුල්ලන් දෙන්නකු බිඳහෙලිමේ වාසිය ගැනිමට ජයවර්ධන ගණන් හැදුවේය.  මේ වෙනුවෙන් කූට අන්දමින් ඔහූ සමසමාජ පක්ෂය සහ දෙ.එ.වි.පෙ අතර පැවති සබඳතා පවා ඔහූ දෙපළු කළේය.


 එමෙන්ම මෝඩයෙක් නොවන ජයවර්ධන සංවර්ධන සභා ඡන්දය තමන්ට ප්‍රජාතන්ත්‍රවාදි රාමුවෙ ජයගත හැකි යැයි නොසිතුවේය. ඒ වෙනුවට ඔහු කුරුණෑගලින් ගාමිණි ජයවික්‍රමගේ තග් බලකාය යවා කෙසේ හෝ ඡන්දය ජයග්‍රහණය කිරිමට මාන බැලුවේය. නමුත් ඒ  වෙනුවෙන් රටට ගෙවන්නට සිදුවූවේ සුලුපටු මිලක් නොවේ. යාපනය පුස්තකාලය , යාපනය මන්ත්‍රී යෝගරාජාගේ නිවස , යාපනය නගර මැද වූ සශ්‍රීක කඩසාප්පූ සහ වසර ගණනාවක් යන තුරු දමිළයන්ගේ සිතේ     සිංහලයන් කෙරෙහි වූ සැකය  මේ සියල්ලම ජයවර්ධනගේ සෙල්ලමේ ප්‍රතිවිපාක විය.


හයෙන් පහක් සමඟ දකුණ දිනූ ජයවර්ධනට යාපනය සංවර්ධන සභා ඡන්දය ජයගත නොහැකි විය. සියලූම සභා දෙ.එ.වි.පෙ ජයගත් අතර දුම් රොටූ මැදින් එජාප මැරයන් යළි පැමිණිමට  දූම්රියට නැඟිනි. නිවාස අහිමි වූ දෙමළ මන්ත්‍රීන් පසුව පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳ හඬ නැගුවේය. සිරිල් මැතිව් වැන්නවූන් පිළිතුරු ලෙස ඔවුනට සිනහසුනේය. 


  ජයවර්ධන ගැන නොදත් දෙ.එ.වි.පෙ සංවර්ධන සභා ඡන්දය දිනා , උතුර අර්ධ ස්වයං පාලනයක් තුළ ආර්ථිකමය දියුණුවකට සැරසිනි. විදෙස්ගත උගතුන්ගෙන් , ශ්‍රමිකයින්ගෙන් අප්‍රමිත ධෛර්‍ය ඔස්සේ  අරමුදලක් සැකසුවේය. කෘෂිකාර්මික උපදෙස් , කර්මාන්ත උපදෙස් ග්‍රාමීයන්ට සැලසීමට උත්සුක විනි. නමුත් උතුරේ ලත් පරාජයෙන් වියරු වූ ජයවර්ධන විසින් උතුරේ  සංවර්ධන සභා සඳහා අවශ්‍යය මුදල් වෙන් කිරිම් නවතා හැරියේ ය. මේ පිළිබඳ මනා උදාහරණයක් රාජන් හූල් සහ රාජනී තිරාණගම ලිව් Palmyra fallen (බිඳුණු තල් ගස ) කෘතියේ විස්තර කර ඇත.


පැවති ආරක්ෂක අංශ ඔස්සේ උතුරේ ජනතාවට අවශ්‍යය ආර්ක්ෂාව නොලැබෙන්නේ යන තර්කය මත දෙ.එ.වි.පෙ ජයවර්ධනගේ මධ්‍යය ආණ්ඩුවෙන් ග්‍රාම ආරක්ෂක සේවයක් ඉල්ලා සිටියේ ය. ජයවර්ධන විසින් එය ලබාදුන්නද සත පහක මුදලක් භාණ්ඩාගාරයෙන් ඒ සඳහා නිකුත් නොකළේය. ග්‍රාම ආරක්සකයන්ගේ නිල ඇඳුම ඔවුන් මසා ගත යුතු අතර , තේ කෝප්පයට පවා ඔවුන් ගෙවිය යුතු විය. එයින් සියල්ල අවුලෙන් අවුලට පත්විය.  


1981 තම දේශපාලන පරාජයට ජයවර්ධන පිළිතුරු දුන්නේ එලෙසිනි. මෙයටත් බරපතළ තත්වයක් එකල යාපනයේ ඇතිවිමින් තිබිනි  එනම් 1975 නගරාධිපති දොරෙඅප්පා ඝාතනයෙන් ඇරඹි තරුණ සන්නද්ධ අරගලයයි  .

මුල් සමයේදි , නිවැරදිවම කිවොත් 1981 සංවර්ධන සභා තෙක් දමිළ තරුණ සටන්කරුවන් සිය දේශපාලනික ගුරුවරයා ලෙස දෙ.එ.වි.පෙ සැලකුවේය. ඕනෑම සන්නද්ධ අරගලයක මුල් අවධියේ සටන්කාමී බීජය ඇතිවන්නේ මෙවැනි සෛද්යාන්තික දේශපාලනික මුලධර්මවලිනි. නමුත් උණ්ඩ පිපිරීම ආරම්භ වු පසූ  දේශපාලනික තර්ක වලට ලැබෙන්නේ අඩූ ප්‍රමුඛතාවයකි.



  මෙයම උතුරේ සිදුවූවේ විහිළුසහගත අයුරිනි , ජයවර්ධන විසින් ග්‍රහණය තද කළෙන් වාසිය ලැබුනේ ඒ වනවිට තුවක්කු එකක් දෙකක් තබාගෙන තැන තැන මීනීමැරූ දමිළ තරුණයන්ටය. අසූව දශකය මැද භාගය විට අම්රිතලිංගම්ගේ දෙ.එ.වි

පෙ අභිබවා "අපේ කොල්ලෝ " නමින් හැඳින්වූ දෙමළ ඊළාම් අරගලය යළි හැරවිය නොහැකි අන්දමකින් උඩුදුව ගොස් තිබිනි. ජයවර්ධනට පාඩමක් ඉගැන්විමට හැක්කේ අපේ කොල්ලන්ට බව ඒ වනවිට දමිළ සමාජය තුළ කිදාබැස තිබිනි.


  අවසන ,ජයවර්ධන දෙ.එ.වි.පෙ සහ දමිළ ප්‍රභූ දේශපාලනයට එරෙහිව ගැසූ තුරුම්පු හේතුවෙන් ප්‍රභාකරන් කෙනෙකු බෞතීස්ම ලැබිය හැකි බව ගණන් හදා බැලූවේද යන්න දන්නේ  දෙයි හාමුදුරුවන් වහන්සේලාම පමණි. 


මනුජය තෙන්නකෝන්

2025-04-09 

Jane Goodall සමුගනි.

   ආචාර්‍ය Goodall ගේ මියයෑම ලෝකයට පාඩුවක් කියලා මම මොහොතකටවත් හිතන්නේ නෑ.ඇය ඇගේ ජිවිතෙන් අවුරුදු 68 විතරම ගතකළේ සොබාදහමේ උන්නතිය වෙනුවෙන්.ව...