මම මේ කතාව ලියන්න ඕනැයි කියලා කල්පනා කරන්නට යෙදුනේ මීට වසර එක හමාරකට පමණ ඉහත. නමුත් වසරක් ඈවෑමෙන් කතා කිරිමට අමිහිරි නමුත් කතා කළ යුතුම මාතෲකාව නැවත මෙලෙසින් දිග හැර දක්වමි.
මා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවේ 2019 වසරේ ජනවාරි දෙවන සතියේ විය යුතුය. තඩි බෝට්ටුවක පිහිටෙන් මා තුම්මුල්ලට පැමිණි නිසාවෙන් මුල් මසක් පමණ යනතුරු මා හඳුනන මිතුරකු විශ්වවිද්‍යාලයේ නොසිටියේ ය. එකල කඩුවෙල කොතලාවල නවාතැන් ගෙන සිටි මා මාගේ 21 වන උපන්දිනය සමරනු ලැබුවේ ද මාගේ කිසිම විශ්ව විද්‍යාල මිතුරකු නොදන්නා පසුබිමකය. මක්නිසාදයත් ඒ වනවිටත් ඔවුන් කල්ලීගැසී , වට්ස් ගෲප් සාදාගෙන , පවුල් ගත වී , කඳු නැග ,බයිසිකල් ද පැද සිටිනිසාවෙන් මා ඔවුන්වද ඔවුන් මාවද දැන සිටියේ නැත.
නැවත මා මගේ කතාවට පැමිණි කල , මා විශ්වවිද්‍යාලයට පැමිණි දෙවන දින ආපනශාලවෙන් බත් පතක් අනුභව කොට අත සොදාගැනිමට පැමිණි කල , කොලු ගැටව් දෙදෙනකු මා ඇමතුවෙමි. ඉන් එක් අයෙක් අඳුරු පැහැති සිහින් කේ.කේ සමන් කුමාර නොහොත් ' සර්පයා' ගේ හැඩති වූ අතර අනෙකා තරමක් පැහැපත් සමක් සහිත නොඋස් බෝලයක් වන් අයෙකු විය. ඔවුන්ගෙන් දෙවැන්නා මා අසලට පැමිණ පැවසුවේ.
"මල්ලී..ඩ්‍රෙස් කෝර්ඩ් කාලේ ඔරලෝසු බඳින්න බෑ. "
අන්දමන්ද වූ මා දෙස බලා ඔහුම ඔහුගේ හේතුවද ඉදිරිපත් කළේ ය.
"කැම්පස් එකේ ඔරලෝසුව බඳින්න බැරි ළමයි ඉන්නාවා නේ. ඒ නිසා බඳින්න එපා."
ආරුඪ කරගත් කෘතිම හඬකින් දෙවැන්නා අවධාරණය කොට සිටියේ ය. ඔහුගේ සහයට උන් සිහින් කාල වර්ණැති පුද්ගලයාද තම මිතුරාගේ හඬට අලගු තැබිමේ නියාවෙන් බලා සිටියේ ය.
විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨයන් යැයි කියාගන්නා දරුවන්ගේ මුල්ම ළමා කුසලතාව මා දුටුවේ එදිනය. සමාජවාදී මානයකින් හෝ කොමියුනිස්ට්වාදි ආර්ථික දැක්මකින් සියලු සම්පත් සමානව බෙදි යා යුතුයැයි සිහියට ගත්තා වූ ගෝත්‍රික චින්තනයකින් ඔහූ ඔරලෝසු බැඳිම තහනම් කරන්නට යෙදුනි. ඔහුගේ චින්තන ධාරාවට අනුව එක් ළමයෙක් ඔරලෝසුවක් බැඳ පැමිණිමෙන් අනෙකාගේ සිත බිඳි , හද පැලි විශාදය වැන්නකට ගොදුරු විය හැක.එය අතිශය සන්වේදි ක්‍රියාකාරකම් බැවින් පිළියම විය යුත්තේ ඔරලෝසු බැඳිම තහනම් කිරිමයි.
මෙකී ජේෂ්ඨයා මින් වසර දහයකට පසුව මුණගැහුනද මට තාමත් කීමට ඇත්තේ. "කොළඹ පාසල් ගොස් , පාතාලය හැඳින ,කොළඹ සරසවියට පැමිණියද , උඹේ අදහස් ගමේ අබරන් සීයාගේ මොට පිහිය තරම් මොට බවයි. (අබරන් සීයාද මොවුන් වැනි සාම්ප්‍රදායික සීයෙකි. )
ඩ්‍රෙස් කෝර්ඩ් ඇදිම , කොණ්ඩේ කොටට කැපිම යම් තාක් දුරට සාධාරණී කළ හැකි වුවද , කණිෂ්ඨ කෑම ගත යුතු ආපනශාලාව තීරණය කිරිම වැනි අතිශය මානූෂිය කරුණු පිළිබඳ ජේෂ්ඨයන් තබා දෙවියන් වහන්සේ පවා අත නොතැබිය යුතුය. පසුකලක මාගේ විමතියට කරුණ වූවේ කොළඹ සරසවියේ ජේෂ්ඨයන් මේ සා ප්‍රාථමික හණමිටි චින්තන හිස දරන්නේ නම් කොළඹින් සැතපුම් සිය ගණන් එපිටින් වූ විශ්වවිද්‍යාල හී තත්වය කෙසේ වනු ඇතිදැයි කියා. පෙර කී ජේෂ්ඨයන්ට අමතරව ඔවුනගේ තවත් ගෝලබාලයන් රැසක්වූවේ ය . ඔවුන්ගැන වෙන වෙනම ලිවිමට තරම් මා මාගේ කාලය නාස්ති නොකරන්නෙමි.
තමන් වැනිම ගමකින් හෝ දුෂ්කර ප්‍රදේශයකින් ඉතා අපහසුවෙන් නිදහස් ශිෂ්‍යත්වයක් ලබා සරසවියට පැමිණි තවත් තමාගේ වයසේම වන් අයෙකුට වහලේ උළු එසවෙන තෙක් කෑගසමින් , තර්ජනය කරමින් , ජේෂ්ඨත්වය උලුප්පමින් හැසිරෙන බොහෝ අයෙකු තමන්ගේ පාසල් සමයේ පංති කොනේ පොත් කියැවූ දරුවෙකු වීමේ සම්භාවිතාව ඉතා ඉහළ අගයකි. එය මා හොඳින් දන්නෙමි.
අතීතය වෙනස් කළ නොහැක. එලෙසින් හැසිරුනු බොහෝ ජේෂ්ඨයන් යැයි කියාගත් සාරි පොටවල් දෙස මා මුහුණ බලා කතා කිරිමේ හෝ ප්‍රියතාවක් නොමැත. එය ඔවුන් උපයා ගත් ධනයයි . ඒ සමඟම මා අතිශය ගරු කරන , ආදරය කරන සරසවි ජේෂ්ඨයන් විශාල ප්‍රමාණයක්ද ඇත .ජිවිතයේ ඇත්තේ අළු පැතලි ජිවිත නොව මේ ආකාරයේ කළු , සුදු ජිවිතද ඇති බව මා හඳුනා ගත්තේ මෙමඟිනි.
ඔබ වීමට බලාපොරොත්තු වන ජේෂ්ඨයා ඔබ කනිෂ්ඨයකු වී සිටි කල බලාපොරොත්තු වූ ජේෂ්ඨයාට සමාන විය යුතුය. පමා වී නැත. තවමත් ආකල්ප නිවැරදි කරගැනිමට නුඹලා පමා වී නැත.
සමානාත්ම තාවය තිබෙන්නේ ඔරලෝසූවේ නොව චින්තනයේ බව හඳුනාගන්නා තුරු ඔවැනි පාංකඩ සරසවි තුළින් අතුගෑම අපහසූ වේ.
This comment has been removed by the author.
ReplyDelete❤
ReplyDelete