Saturday, 14 June 2025

වැඩිහිටියන්ට කාටූන්

අන්තර්ජාලය අද තරම් සුලබ නොවිච්ච අනූව දශකයේ මැද ඉදන් 2008-2009 වෙනකන් ළමා කාලය ගත කල බොහෝ දෙනාගේ  විනෝදාස්වාදයේ වැඩි ඉඩක් අරගෙන තිබුනේ රූපවාහිනි කාටූන් කලාව. 


ලංකාවේ අපිටම කාටූන් නිර්මාණයක් කරන්න තරම් ආර්ථික හයියක්වත් තාක්ෂණික හැකියාවක්වත් නැති නිසා අසූව දශකයේ ඉදන් ටයි මහත්තයා වෙනත් රටක නිමැවූනූ කාටූන් නිර්මාණ සිංහලෙන් හඬ කවමින් විකාශනය කිරිම ආරම්භ කළා. ටයි මහත්මයාගෙ ඇවෑමෙන් ඔහුගේ අනුප්‍රාප්තිකයා වූනූ අතුල රන්සිරිලාල් ඒ කාර්‍ය රූපවාහිනියෙන් විශ්‍රාම යනතෙක්ම සිදූ කරගෙන ගියා.


අද වෙනකොට අවුරුදු  විසි හතක් පහු කරගෙන යන මගේ ජිවිතේ මම ආපස්සට හැරුනම , උදේ අම්මා හදලා දෙන කිරි තේක අතට අරගෙන ටීවී එකට අඩි හතරක් මෙහා බිම ඉදගෙන , ඔලූව අංශක අසූපහක් විතර උඩට හරවලා ඥාන කතා මල්ලී බැලූව විදිය මැරෙනකන්ම අමතක කරන්න බැරි වෙයි. ඒකට හේතුව , එහෙම ඇහුන  තේමා ගීතය , සංගීත ඛණ්ඩය එක්ක ගැටගැහුනූ මහා විශාල අතීතයක් තියෙන නිසා.  


අපි කල්පනා කරොත් ලංකාවේ කාටූන්  ඇතුළේ මුද්‍රාවක් වගේ සටහන් උනූ  දේ තමා කාටූන් තේමා ගීතය (Theam song). මේ සටහනෙන් ඒ විදියට අපට ඇහූනූ කාටූන් නිර්මාණ කිහිපයක තේමා ගීත ගැන මගේ අදහස ඉදිරිපත් හිතුනා. මොකද සමහර තේමා ගීත ළමයි එක්ක දෙමාපියන්ටත් අහන්න පුලුවන් තාලේ දේශපාලනිකයි. 


මගේ හැම කාලෙකම ප්‍රියතමයා තමා ඥාන කතා මල්ලී. 1973 ඉදන් 2013 වෙනකන් ජපානේ පින්තූර පොත්වලින් ආපූ AnpanMan  රූපවාහිනිය හරහා අපේ ආලින්දයට එනකොට ඥාන කතා මල්ලී උනා. ජපානයේ ප්‍රසිද්ධ Anpan කියන බනිස් වර්ගය වෙනුවට අතුල රන්සිරිලල් ලංකවෙදි ආදේශ කරගත්ත නම ඥානකතා. දැන් Anpanman ට නොතිබුනු අපූරු ලක්ෂණයක් අපේ ලෝකල් ඥානකතා මල්ලීට තියනවා. ඒ තමා ඥානය ( wisdom) .  අතුල රන්සිරිලාල්ගේ වචන වලට ජයන්ත රත්නායම විරිදුවකට සමාන තනුවක් යොදලා මෙන්න මෙහෙම කියන්නේ ඒ නිසයි.

Anpanman නොහොත් ඥානකතා
 මල්ලී


ඥානේ නොමැති අයට හදපූ

හුස්ම පිඹලා පණ පොවාපූ

අනුන්ගේ ගින්දර නිවාපූ

ඥාන කතා මල්ලීයා...

ඥානේ වඩන කතා කියන

ඥාන කතා මල්ලීයා..


දැන් අපේ ලෝකල් ඥානකතා මල්ලී එන්නේ නිකන් නෙවෙයි "අනුන්ගේ ගින්දර නිවන්න " . අපි දෙවැනි පෙළට යමූ.


විෂබීජලා කෙළෙස්වලට

මෙහි ඉඩ නෑලූ...

ඥාන මල්ලී පාන් මාමා උන් පන්නාලු

අලූත් අලූත් හොඳ යාලූවෝ

තව ළංවේවිලූ

හොඳ හිත හා උත්සහයෙන් ජයම ලැබේලු


බලන්න මේ වචන , ඇත්තටම කාටූනයකය එහා ගිය අර්ථයක් මේ ගීතයෙක් පණිවිඩයක් විදියට සපයන ආකාරය.  ඊළඟ කොටස තමා මගේ ප්‍රියතම පදය


වැඩියෙන් උඩ පැන්නෝතින් 

බිමමලු යාලූ

බලය අතට ගෙන නැටූවොත් 

පද පැටලේලූ

ඇද පෙන්නලා ඇදේ ගියොත්

හැම රැවටේලූ

යහපත හොඳ යුක්තිය රැක්කොත් වැජඹේලූ..


හරියට මාලිමා ආන්ඩුවට දුන්න උපදෙසක් වගේමයි. වැඩිය උඩ නම් පනින්න එපා , හේතුව බිම වැටෙන්න පුලුවන්. බලය තියෙන්නේ පාවිච්චියට මිසක් අතේ අරන් නැටූම් නටන්න නෙවෙයී. මොකද ඒකෙන් නටන නැටූමේ පදේ පැටලෙන්න පූලුවන්..ඔන්න බිමල් රත්නායකට උපදෙසක්. ඇද පෙන්නලා ඇදේ ගියොත් හැම රැවටේලූ !! එකක් පෙන්නලා එකක් කරන්න එපා . අපි විතරක් නෙවෙයි උඹලා අපි හැමෝම රැවටෙන්නේ අන්තිමට. 


මං දන්නේ නෑ වෙන ලෝකේ තමන්මඉ තමන්හේ භාසාවෙන් කාටූන් හදන ‍රටකවත් තේමා ගීත මේ ලෙවල් එකට අරගෙන ගිහින් තියනවා කියන්න. 


ඊළඟ උදාහරණය කෙලින්ම Old school . දොස්තර හොඳ හිත. Dr. Doolitlle කාටූනය 1986 අවුරුද්දේ ටයි මහත්තයා සිංහලට පරිවර්තනය කළෙ "දොස්තර හොඳ හිත " විදියට.  ප්‍රේමකීර්ති ද අල්විස් ගේ වචන වලට සෝමපාල රත්නායක තනුවක් යොදලා ගැමුණු විජේසූරියගේ හඬින් ගැයෙන තේමා ගීතයේ එක තැනෙක මෙහෙම කියවෙනවා


අයූක්තියට ඉඩ නැතේ

යුක්තිය ලොව රජ වෙතේ

වෛරෙන් වෛරය නොවේ

මෛත්‍රියෙන් ජය ලැබේ...


කාටූනයක් ඇතුළෙන්  ඒ වගේ දහමක් සම්ප්‍රේෂණය කරන්න පුලුවන්ද හිතෙන තරමට ටයි මහත්තයා දොස්තර හොඳ හිත ව්‍යාපෘතිය කරලා තිබුනා. ඒකට හොඳම හේතුව වෙන්න ඇත්තේ ඔහුට තිබුන ද්විභාෂා ප්‍රවීණත්වය. දැන් හඬ කැවෙන කාටූන් විදියට සම්පූර්ණ පරිවර්තනයක් නොකර ඒ වෙනුවට ලංකාවේ සංස්කෘතියට ගැළපෙන මුහුණුවරක් එක්සත් ජනපදයේ නිපැයූනූ කාටූනයකට දුන්න එකම ආතල් වැඩක්.


දොස්තර හොඳ හිත කාටූනයේ මගේ හිතේ පැළපැදියම් උනූ චරිතය තමා "ළා තණකොළ පෙත්තාස් " බෑන්ඩ් එක. දොස්තරගේ බෙහෙත් පෙට්ටිය වාසභූමිය කරගත්ත ඔවුන් විටෙන් විට ඇවිත් හොඳ බීට් එකකට සින්දුවක් ප්ලේ කරනවා. මේත් ඒ වගේ කිව්ව බැහැයි කියලා බැහැයි කියලා බෑ සින්දුව.


මල් පිපුනේ සුවඳ දෙන්න

බැහැයි කියලා බෑ

තටූ ලැබුනේ පියාඹන්න

බැහැයි කියලා බෑ

අත් ලැබූනේ වැඩ කරන්න 

බැහැයි කියලා බෑ

මේ ලෝකේ කිසිම දෙයක් බැහැයි කියලා බෑ..


ලංකාවේ අකාර්‍යක්ෂන රාජ්‍ය සේවයේ කාර්‍යාලවල ආගම සිහිකිරිමෙන් පස්සේ වාදනය කරන්න ගැළපෙන ජාතියේ ගීතයක් මේක.හේතුව රජයේ කාර්‍යාලවල වැඩ සිද්ධවෙන විදියට අත් ලැබුනේ වැඩ කරන්න මිසක් වෙන දේකට නෙවෙයි කියන එක මෙහෙම ගීතයකින් හරි පැහැදිලි කරන්න වෙන තැනකට දැන් ඇවිත් තියෙන්නේ.


ඒ ගීතයේ අවසන් කොටසේ ළා තණකොළ පෙත්තාස් බෑන්ඩ් එක මෙන්න මෙහෙම කියනවා.


අප හැදුනේ රට රකින්න

බැහැයි කියලා බෑ

රට වෙනුවෙන් වැඩ කරන්න 

බැහැයි කියලා බෑ

යුතුකම් ඇත ඉටු කරන්න

බැහැයි කියලා බෑ

නගේ මලේ කිසිම දෙයක්

බැහැයි කියලා බෑ...


ප්‍රේමකීර්ති මේ වචන ලියලා අවුරුදු 40 පිරෙන්නත් එනවා. දොස්තර හොඳ හිත රූපවාහිනියේ දහස් වතාවකට වඩා විකාශනය වෙලා තියනවා. ඒත් තාමත් අපිට 

"මේ ලෝකේ කිසිම දෙයක් බැහැයි කියලා බෑ" කියලා නැවත නැවත කියන්න වෙලා තියනවා. 

.


මීට අමතරව ඉඟුරු පාන් මල්ලී , ඉරපායනකොට දොයිය බබාලා , සිඟිතිගේ කතා , කාබාසිනියාතුමා , ඇපල් ආදිපාද තුමා , කූබිච්චි සහ කෝලිකුට්ටූ සහෝදරයෝ කියන කාටූන් නිර්මාණවල තේමා ගීත තුළින් පවා විනෝදාස්වාදයට එහා ගිය නවීනත්වයක් ලබා දුන්නා. 


එහෙම යුගයක ළමා කාලේ ගත කරලා දැන් ආපස්සට හැරිලා ඒ දේවල් දිහා විශ්ලේෂණාත්මකව බලන්න ලැබීමත් මට අනූව නම් වාසනාවක්.


මනුජය තෙන්නකෝ

2025-06-14

ළා තණකොළපෙත්තාස් සංගීත කණ්ඩායම




Thursday, 12 June 2025

වාලම්පුරිය එක්ක තව වටයක්

  ධර්මරත්නගේ "වාලම්පුරිය" දෙවැනි වතාවටත්  මම නුවර Scope එකෙදි රසවින්දා . 



මං හිතන්නේ කුස පබාගෙන් පස්සේ මම එකම චිත්‍රපටියක් දෙවතාවක් බලපු පළමු වතාව මේක. කුස පබාත් මම දෙවතාවක් බැලුවේ මගේ කිසිම උවමනාවට නෙවෙයි. මහාචාර්‍ය ආරියරත්නට කුස පබා වෙනුවෙන් පාසල් දර්ශන අනුමත වෙලා තිබුන නිසා   පාසලෙන් අපිව පොළිමක දක්කගෙන ගිහින් එක වතාවක් චිත්‍රපටිය පෙන්නූවා. අනෙක් වතාවේ මගේ පියා මාවයි මගේ සහෝදරියවයි එක්කරගෙන ගිහින් ආපහූ ඒ කුසපබාම නැවත පෙන්නූවා. 


 එහෙම බැලුවොත් නම් වාලම්පුරිය දෙවනි වතාවට බැලුවේ මගේ පරම උවමනාවට.මං අප්‍රේල් 26 ලක්මාල්ගේ බයිස්කෝප් එක  බලලා ඇවිත් දිග යාං හෑල්ලක් ලීවා. ලියලා මාස එක හමාරක් ඉදලා මට විසඳගන්න තියෙන තැන් ටික නැවත අල්ලගන්න අරමුණෙන් ආපහූ Scope එකේ පිටිපස්සේ හොඳ සැපපහසූ ආසනයක්  ඔන්ලයින් බූක් කරා.  


මගේ පෞද්ගලික අදහස නම් අපි චිත්‍රපටයක් මුලින්ම බලනව නම් අපිට අහුවෙන්නේ බොහෝම සීමීත ස්තරයක්. උදාහරණයක් විදියට ප්‍රධාන කතාව , කතාවේ ඇතිවෙන ගැටූම් , චරිතවල බාහිර ස්වරූපය , චරිතවල බාහිර හැසිරිම වගේ දේවල්.  

මේක දවසකට චිත්‍රපටි තුනක් විතර බලන අයියා කෙනෙක්ට වෙනස් වෙන්න පුලුවන්. මං කියන්නෙ  සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරය ගැන.


ඒත් ප්‍රධාන කතාවට ඇතුළෙන් උල්පතකට උනන දිය සීරාවක් වගේ නිසලව ගලන අනෙක් කතා පුවත . :- වාලම්පූරියේ සංකේතාත්මක භාවිතය , සමාජේ අතිශය පීඩාවට පත් උනු නූගත් , කොන් වුනු සමාජයක පොදූ කතාන්දරය .


චරිතවල අභ්‍යන්තරික හැසිරිම :-

 චරිතවල ක්‍රියාවලිය මෙහෙයවන සිතුවිලි දාමය .මූ මේක කරන්නේ මොන හේතුවකටද කියන මනෝභාවය, ඒකට බලපාන අතීත සිදුවීම් පෙළ .


අධ්‍යක්ෂවරයා සහ නලුවන් විසින් ප්‍රේක්ෂකාගාරයට නොපෙනෙන්න හංගපූ ඉඟි (Clues)  :-

 උදාහරණයක් විදියට චිත්‍රපටියේ විශාලතම ප්ලොට් ට්විස්ට් එක වෙන තැනදි දිල්හානි අශෝකමාලා තමන්ගේ දුරකතනය එක්ක කරන ගනුදෙනුව. ඒ අංග චලනය , සාත්වික අභිනය . ඒ වගේම අශාන් ඩයස් දිල්හානිව දකින මුල්ම වතාවේ වාලම්පුරිය අතට දෙන මොහොතේ  දෙන්නගේ හැසිරීම .


 සංගීතය : අවංකවම මට පළවෙනි වතාවේ බයිස්කෝප් එක බලාගෙන යනකොට කතාවට ආසක්ත උනා මිසක් චින්තක ජයකොඩිගේ මාස්ටර් පීස් එක රසවිඳින්න බැරි උනා.  මං  සංගීතය ගැන මළපොතේ අකුරක් නොදැන උනත් දෙවනි වතාවේ සිනමාහලේ ඉදගත්තෙම මේ වතාවේ සංගීතයේ ආතල් එක ගන්නවා කියලා හිතාගෙනමයි. ඒ නිසා සංගීතය.


ශබ්ද පරිපාලනය : මං හිතන්නේ චිත්‍රපටියක ශබ්ද පරිපාලනය ගැන කතා නොකරනවා කියන්නේම ඒ වැඩේ ලස්සනට වෙලා කියන එක. ඒ කියන්නේ ඒ තරම් වැඩේ ස්භාවිකයි කියන එක. අතුල ජයසිංහ වගේ ප්‍රාමාණිකයෙක්  නොගත්තා නම්  සිඩ්නිට බිරිඳ ආඩපාලි කියනකොට  "පරණ බේසමකට දෙනවා අලුත් බේසමක් " කියලා චිත්‍රපටිය මැදින් අපිට නොඇහෙන්නත්.

කුරුල්ලෝ කෑගහන , පිරිත් සද්ද නොඇහෙන්න ඉඩ තිබ්බා. කොටින්ම මේ වැඩේ ඩබ් කරා කියන එකවත් ලක්මාල් කියනකන් මට අහු උනේ නෑ. ( Direct sounds  වලින් තොරව කරපු වැඩක් ).ඉතින්  ශබ්ද පරිපාලනයේ විස්මය. 


මේ හැම කාරණයක්ම මට අහු උනේ මේ දෙවනි ලැප් එකේදි. ඒ නිසා කුස පබා දෙවැනි වතාවේ බැලුවට වඩා ආතල් එකකින් මම සිනමාහලෙන් එළියට ආවේ.


මේ හැමදේකටම වඩා ලක්මාල්ට සතුටු වෙන්න පුලුවන් දෙයක් තියනවා.  චිත්‍රපටිය මම දෙවනි වතාවේ බැලූවේ මගේ අම්මත් එක්ක. මගේ අම්මා රීදී ටීවී එකේ අහම්බෙන් යන චිත්‍රපටියක් බලනවා ඇරෙන්න චිත්‍රපටි රසිකාවියක් නෙවෙයි. එයාට වාලම්පූරි බලන්න යමුද අහනකොටමත් මට කීව දේ තමා


"ඔයා ඔයාට හරියන ෆිල්ම් එකක් බලන්නද දන් නෑ මාව එක්කන් යන්නේ."


ඒත් මුලු පැය දෙක පුරාවටම එයා මගේ වම් පැත්තේ ආසනේ ඉදගෙන මම නොහිතපු ලෙවල් එකට චිත්‍රපටිය රසවින්දා. හැම ප්ලොට් ට්විස්ට් එකකම , හැම ගැටුමකම , Climax එකේදි පවා ඇගේ ප්‍රතිචාරය මම දැක්කා. ඒ ලෙවල් එකේ , මං කියන්නේ නිතරම චිත්‍රපටි නොබලන ප්‍රේක්ෂකාගාරයකටත් මේ වැඩේ ළඟයි කියන්නේ , ලක්මාල් ඒ පැත්තෙනුත් උඩින්ම පාස්.


මනුජය තෙන්නකෝන් 

2024-06-13

   

Wednesday, 11 June 2025

සිසූ විරුවෝ රැවටුනාද ?

විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් පිළිබඳව ලාංකීය සමාජයේ අවධානය බරපතළව යොමු විම ආරම්භ වූවේ 1971 ජවිපේ පළමු කැරැල්ලෙන් නොව. එය ආරම්භ වූනේ 1983 දි ජනාධිපති ජයවර්ධන විසින් සියලූම සමාජවාදි පක්ෂ තහනම් කිරිමත් සමඟ ඇතිවූ  දේශපාලනික භූකම්පනය සමඟයි

 . 


විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය සංගමයක් හෝ කැඳවිම තහනම් කළ   එජාප ආණ්ඩුවට එරෙහිව යටිබිම්ගත දේශපාලනයට උචිතම උපක්‍රමය වූවේ උගත් , ජවාධික විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ඒ නිසාවෙන්ම එකල වූ ශිෂ්‍ය නායකයන්ද මෙකල කැපී පෙනෙමින් පසුකලක ජවිපේ දේශපාලන මණ්ඩලය තුළට පවා ඇතුළත් විනි.


මගේ වෑයම එකී සිසූ විරුවන් උත්කර්ෂයට නැංවීම හෝ ඔවුනගේ ක්‍රියාපිළිවෙත විවේචනය කිරිම නොවේ. මට උවමනා වී ඇත්තේ මෙතරම් උගත් තරුණයන් පිරිසක් ඊට වසර දහයකට නොඅඩූ ඉතිහාසයක අන්ත පරාජයට පත්වුනු 1971 කැරැල්ලේ උණුසුම යෑමටත් පෙර තවත් එවැනි සන්නද්ධ අරගලයකට අත එසවීමේ තර්කය සහ ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කළ සිතිමේ ක්‍රියාවලිය (Thought process ) වටහා ගැනිමයි.


මෙය තේරුම් ගැනිමේ පහසුව තකා උදාහරණ හයකට පිවිසෙන්නම්.


මං පළමු  උදාහරණය ලෙස ඒ වනවිට ජවිපේ ඉහලම තැනක සිටි ආනන්ද ඉඩමේගම නොහොත් ධම්මිකව ගන්නම්. ඔහූ බදුල්ලේ ,සොරණාතොට ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාසයේ කන්දේගෙදර ඉඩමේගම උපන්නෙක්. ඔහු පේරාදෙණිය ඉංජිනේරු පිඨයට පැමිණෙන්නේ ගණිත අංශයෙන් දිවයිනේ දෙවැන්නා වෙමින්. අවසානයෙ 1990 ජනවාරි 12 දින ඔහුව දඹුල්ලේදි ඝාතනය වන විට අවුරුදු 29 තරුණයෙක්.

ආනන්ද ඉඩමේගම නොහොත් ධම්මික



දෙවැන්නා වෙනුර වර්ධිත එදිරිසිංහ. 1984 වසරේ කොළඹ රාජකීයේ වසර අවසාන ත්‍යාග ප්‍රදානෝත්සවයේ 

උද්භිත විද්‍යාවට පිදෙන ඇල්ෆ්‍රඩ් ඇන්ඩීස් සම්මානය ,

ජීව විද්‍යාවට පිදෙන F T වීරසූරිය සම්මානය,

උද්භිත / සත්ව විද්‍යාවට පිදෙන තිස්ස වික්‍රමසිංහ සම්මානය 

සහ දක්ෂතම සිසූවාට පිදෙන M.ගුණරත්නම් අනුස්මරණ සම්මානය යන සියල්ල ලබන්නේ ඔහූයි. 1985 කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයට වෙනුර පැමිණෙන්නේ ද දිවයිනේ ප්‍රථමයා වෙමිනි. නමුත් අවුරුදු 23 පසුවන විට ඔහු තෝරාගත් දේශපාලන ධාරාවෙන්ම ඔහුගේ දිවි අවසන් කෙරිනි. රජයේ හමුදා විසින් කොල්ලූපිටියේදි පැහැරගත් ඔහූව   තිඹිරිගස්යායේ හෙන්රි පේද්‍රසි වධකාගාරයෙදි මරා දැමුවේය. 


තෙවැන්නා කමල් නොහොත් සිරාජුසීන් මොහොමඩ් නිෂ්මි. ආනන්ද ඉඩමේගම හරහා ජවිපේ පූර්ණකාලීනයෙක් වූ ඔහූ විශ්වවිද්‍යාලය තුළ අනායාසයෙන් දක්ෂතා දක්වන්නෙක් විය. කැප්ටන් ගාමිණි හෙට්ටිආරච්චිගේ  RDF (Rapid deployment force ) හරහා අත්අඩංගුවට ගත් නිෂ්මි ලුතිනන් මුතාලිෆ් ගේ අණුදැනුම මත ඔප්ස්කොම්බයින් හිදි 1990 අප්‍රේල් මස දිනක ඝාතනය කරන ලදි. අද්වීතීය අනාගතයකය උරුමකම් කී නිෂ්මි මියයනවිට යාන්තමින් අවුරුදු 30  ලැබුවා පමණි.

නිෂ්මි


සිව්වැන්නා වෙනුර එදිරිසිංහගේ ජේෂ්ඨ කාමර සගයා වූ පද්මසිරි ත්‍රිමාවිතාන. අම්බලන්ගොඩෙන් කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණි ත්‍රිමාවිතාන සිව්දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහලා. 1988 මූසල ඔක්තෝම්බරයේ පැහැරගෙන ගොස් හිසට පරාල ඇණ ගසා  ඝාතනය කෙරූ 24 හැවිරිදි තරුණයා අනාගතයේ දිනක වෛද්‍යවරයෙක් වීමට සිටි අයෙකි. ඔහූගේ සමකාලීනයන්ට අනූව අවුරුදු 23-24 ඔහූ අන්තරය තුළ හැසිරෙමින් ශිෂ්‍යයන් මෙහෙයවූ ආකාරය අදටත් සිතා ගැනිමට අපහසු බවයි. ඒ දැක්වූ පරිණතභාවය ත්‍රිමාවිතාන වැනි ගැටයෙකුගෙන් කිසිවිටක අපේක්ෂා නොකරන්නකි.

ත්‍රිමාවිතාන විශ්වවිද්‍යාලයේදි


පස්වැන්නා වත්මන් පෙරටූගාමී පක්ෂයේ ලේඛම් කුමාර් ගුණරත්නම් ගේ වැඩිමහල් සහෝදරයා වූ රන්ජිතම් ගුණරත්නම්. ඔහූ පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පිඨයේ අධ්‍යාපනය ලබන විට උදලාගම කොමිසම හරහා සිසූබාවය අහෝසි වූවෙකි. ධවල පත්‍රිකාවට විරුද්ධ සටන , 1987 මැයි දින සටන වැනි සටන් මෙහෙයවූ සරසවි ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිටි දක්ෂතම , තර්කානූකූලම සිසු නායකයා ලෙස සැලකෙන්නේ ඔහුයි.භාෂා ත්‍රිත්වයෙන්ම සභාවක් ඇමතිමේ හැකියාව උරුම වූ ඔහූ  ජවිපේ පූර්ණකාලීනයෙක් වීමත් සමඟ කුරුණෑගල පක්ෂ නායකත්වයේ කටයුතු කළේය. 1989 නොවැම්බර් මස කොළඹදි ඔහූව ඝාතනය කරන විට ගුණරත්නම් ජවිපේ මධ්‍යම කාරක සභාව තුළද අසුන්ගෙන සිටි බවද පැවසේ. රන්ජිතම් ඝාතනය වන විට අවුරුදු 30 කි.


රන්ජිතම් ගුණරත්නම් 



සයවැන්නා සහ අවසානයා සූප්‍රකට දයා පතිරණ. ජවිපේ දේශපාලනයෙන් අපගමනය වු ඔහූ කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා විය. දයා පතිරණව ජවිපේ ආගිරිස් කොස්තා ඇතුළු  සන්නද්ධ අංශය (දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය) බොල්ගොඩදි ගෙල කපා ඝාතනය කරන විට අවුරුදු 24 සුහුඹුල් තරුණයෙකි.සරසවියට පැමිණිමට පෙර වාමාංශික දේශාපාලනයේ ඉව දැනී තිබූ පතිරණ කොතරම් ආවේගශීලී පුද්ගලයෙක් වුවද දේශපාලනික කියවීම සහ අවබෝධය තිබූ අයෙකි.පාසල් සමයේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ඔහූ දේශපාලනය නිසා ඒ සියල්ල නැවතු අයෙකි.

දයා පතිරණ විසි හතරවන වියේදි


මා උදාහරණ ගෙන දැක්වූ සය දෙනාට අමතරව මොරටූවේ දෙවන වසරේ සිටි නිමල් බාලසුරිය , ජයවර්ධනපුර සිට උදලාගම කොමිසමෙන් ශිෂ්‍යභාවය අහෝසි වූ H.B හේරත් , කොළඹ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ දයා පතිරණගේ මරණයෙන් පසූව නායකත්වයට පත්වූ K.L ධර්මසිරි සහ උදේනි බන්දූල දිසානායක යන අයද  සෑම අතින්ම හැකියාවන් පෙන්වු තරුණයන්ය.අවාසනාවට මේ කිසිවෙක් තමාගේ ජිවිතේ තුන්වන දශකයෙන් එහා දකින්නට වරම් නොලද්දෝය. 


ඔවුනට වැරදුනාද ?

 

මගේ කියවිම නම් මේ බොහෝදෙනා මාක්ස්වාදය හෝ දේශපාලනික භාවිතය හොඳින්ම උගත අය බවයි. ඔවුන් සියලූ දෙනාම දීප්තිමත් වෘත්තීමය අනාගතයක් දැක දැක පූර්ණකාලීනව දේශපාලනය තෝරගත්‍ අයයි. කොටින්ම ජවිපේ විජේවීරගේ ඝාතනයෙන් පසූ නායකත්වයටත් පත් වූ  සහ ජවිපේ සන්නද්ධ අංශයේ නායකයාවූ කීර්ති විජයබාහූ නොහොත් සමන් පියසිරි ෆ්‍රනෑන්ඩෝ පවා කැළණිය විශ්වවිද්‍යාලයේ වාණිජ අංශයේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා විය. ඒ නිසා මේ කිසිවකු කරන්නට දෙයක් නොමැතිව දේශපාලනය කළ අය නොවේ.සියල්ලෝම අවබෝධයෙන් මේ මාර්ගය තෝරාගත්තෝය.


අනෙක් වැදගත් කාරණය. ඔවුන් මේ සටන් කළේ ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසමින් ලුම්පන් පාලනයක් රැගෙන ගිය ජයවර්ධන ජනාධිපතිටත් , ඔහූගේ අනුප්‍රාප්තිකයා වූ ප්‍රේමදාසටත් , ප්‍රේමදාසගේ දඩබල්ලා බඳූ වූ රන්ජන් විජේරත්නටත් විරුද්ධවය. මගේ අදහස නම් මේ බොහෝ දෙනා ඔවුන්ගේ මරණය ස්ථිර බවත් එය පැමිණෙම වෙලාව පමණක් වෙනස් වන බව දැනසිටි බවයි. එය නිර්භීතබවද , අඥන බවද , තාරුණ්‍යයෙම් ඔද වීමද යන්න මට තේරුම් කරගත නොහැක. මං නැවත නැවත කියන්නේ මේ බොහෝ දෙනා අවම මම ජිවත් වු තරම් කාලයක්වත් ජිවත් වී නැත. අවංකවම මම ඔවුන්ගේ දෘෂ්ටි කෝණයෙන් ඒ මොහොත සිතිම පවා වේදනාවට කරුණකි. 


"මුං කොහොමද මෙහෙම කරේ ? ඒ මම මගෙන් නිතරම අහන පැනයයි."


මේ ලියවීමේ අවසාන කාරණය නම් දශක දෙක හමාරක ජීවන අත්දැකීමක් ඇති කොලූ ගැටයන් පිරිසක් අතිවිශාල සිසු පිරිසක් මෙහෙයවමින් , ආණ්ඩූ විරෝධී උද්ඝෝෂණ සංවිධානය කරමින් , පෙළපාලි යමින් , අධ්‍යාපන කව පවත්වමින් , විප්ලවය විශ්වාස කරමින් වැඩ කිරිමම මට විස්මයකි (ඔවුන්ට පක්ෂවලින් මඟපෙන්වීම ලැබෙන්න ඇති ,  නමුත් සරසවි  පොළවේ අපහසු කොටස කළේ ඔවුන්ය). 


ඒ විස්මයට හේතුව නම් ෆස්ට් ක්ලාස් එකක් , ආචාර්‍ය උපාධි අවස්ථාවක් , වඩා යහපත් වෘත්තියක්  වැනි ධනය මූලික හේතුන් වෙනුවන් වෙහෙස වූ විශ්වවිද්‍යාල බබාලා අනන්තවත් දැක ඇති මට මේ මියගිය තරුණයන් එක්තරා ආකාරයක සිහිනයක් විමයි.


ලිපියේ අවසානයේ අදාළ තේරුම් ගැනිමේ සන්දර්භය නම්


 "මැරෙන බව දැන දැන තවත් ඉදිරියට යාමට නම් එක්කෝ ඔබ මෝඩයෙක් විය යුතුයි.නැතිනම් ඔබ අසමසම පරාර්ථකාමියෙක් විය යුතුයි."


ඉහතින් සඳහන් තරුණයන් අයිති වන්නේ කුමන කාණ්ඩයටද යන්න තේරිම ඔබේ කාර්‍යකි.


මනුජය තෙන්නකෝන්

2025-06-11

 

Monday, 9 June 2025

මිනිස්සූ ඉන්නේ ආදරේ කරන්න..

 ගැමුණුගේ මේ මතක පදය සැහෙන්න මාව කුල්මත් කරපූ සංවාදයක්.වාමාංශිකයෝ එහෙම නැත්නම් කාර්ඩවරු කියන්නේ වේලුනූ, තද, ගොරහැඩි , හැඟිමෙන් දැනිමෙන් තොර අයයි කියන මතය කොයිතරම් වැරදිද කියලා පැයයි විනාඩි හතළිහක් ඇතුළේ පුබුදු සහෝදරයා විස්තර කරනවා.

ඔහු ඉතාම විධිමත්ව 2011 ජවිපෙන් සිදුවූ විඛණ්ඩනයත් , ඔහු වැනි අසූවේ ජවිපේ දෙවැනි විප්ලවයෙන් පසූව දේශපාලනයට පැමිණි අයගේ දේශපාලන පෙළඹවීම පැහැදිලිව ක්‍රමවත්ව ඉදිරිපත් කරනවා.

ඒ හැමදේකටම වඩා නුවර ගැන නුවර සංස්කෘතික ජිවිතය ගැන ඔහුගේ මතකය හදවත පාරන තරමට වේදනාවක් ගෙන දෙනවා. ඇයි එහෙම නුවරක් අපට ඉතිරි නොවුනේ කියලා හිත දුකෙන් බර වෙනවා.

 

පසුසටහන : - 


පුබුදු සංවාදෙ ඇතුළේ ජෝන් ලෙනන්ව උපුටලා මෙහෙම කියනවා

"මිනිස්සූ ඉන්නේ ආදරෙ කරන්න .බඩූ භාණ්ඩ තියෙන්නේ පාවිච්චි කරන්න.ඒත් අපි ගොංබූරුවෝ වගේ බඩූ භාණ්ඩ වලට ආදරය කරලා මිනිස්සු පාවිච්චි කරනවා."  එයාට කොමියුනිස්ට් ප්‍රකාශනයටත් වඩා වැදුනේ ඒක කියලා සංවාදේ ඉවර කරනවා.


Wednesday, 4 June 2025

Once a minister - now a prisoner

මහින්දානන්ද දවස් තුනකට කලින් අවුරුදු 20 ඇතුළට ගියා. පේන විදියට ශ්‍රේෂ්ඨාධීකරණයෙන් මහින්දානන්දගේ අභියාචනය විසික් කරොත් ,එයාගේ අන්තිම කාලේ කුරු ඇතුළෙම ගෙවෙයි.දැනට නම් අකුරු ගැළපිලා තියෙන විදියට මේක තමා මහින්දානන්දගේ තීරණේ.ඒකට නීතීමය හේතුව ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයකින් තීරණය දුන්න නිසත් , අභියාචනාධිකරණයට නොයා කෙළින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල හරි පංචපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉස්සරහා මේක නැවත අහන නිසාත් , දඬුවම  අවුරුදු 20 ක් අයින් කරලා ගෙදර එවයි කියලා හිතන්න සෑහෙන  අමාරුයි.අනික මහාධිකරණයෙන් වැරදිකරුවන් කරපු නිසා මහින්දානන්දට ඇපත් නෑ. බන්ධනාගාරයේ ඉදන්ම නඩුවට එන්න වෙන්නේ.


  මහින්දානන්ද කියන්නේ ඉතින් අපේ ගමේ මිනිහා. නාවලපිටියේ මනුස්සයා. පස්සේ කාලෙක මම කොහේ හරි ගිහින් ගම නාවලපිටිය කීවම මගේ මිත්‍රයෝ ඇහූවේ


 "මහින්දානන්ද උඹලගේ පැත්තේ නේද "


 කියලා. කොටින්ම මහින්දානන්ද නම් නාවලපිටිය , නාවලපිටිය නම් මහින්දාන්ද වගේ ලයින් එකක් තිබ්බේ. 

මට මහින්දානන්දව මුලින්ම හම්බෙන්නේ අනුරුද්ධේ තිබුන වසර අවසාන තෑගී ප්‍රධානෝත්සවයේ ආරාධිත අමුත්තා විදියට. ඒ නම මම මුලින්ම ඇහුවෙත් ඒ දවසේ.  එදා ඉදන් පහුගිය මහමැතිවරණයෙන් මිනිහා පැරදෙන කන් නානාප්‍රකාර තැන්වල මම මිනිහව දැකලා තියනවා.ඒ හැමතැනකම මහින්දානන්ද  වටේ  හෙංචයියෝ රැළක් හිටියා. මළගෙදර , දානේ ගෙදර, අරකේ මේකේ කොහේ ගියත් ඒ හෙංචයියෝ "අපේ ඇමතිතුමා "කියලා දංකුඩ කකා හිටියා.


මහින්දානන්දගේ මේ කුක්කෝ සෙට් එක මාර්කට් එකේ ඉදන් කඩේ පොළේ හැමතැනම තමන්ගේ ප්‍රමාණයෙන් බලය විහිදවගෙන හිටියා. මාර්කට් එක හදනකොට එතනින් කඩ ප්‍රමාණයක් , සාප්පූ සංකීර්ණයක් හදනකොට එතනින් සාප්පු දෙකක් තුනක් , ක්‍රීඩාංගණයක් හදනකොට ක්‍රීඩා භාණ්ඩ අලෙවි වෙළඳ සැලක් , බාර් පර්මිට් එකක් , සතොස සභාපතිකමක් , කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට් එකක් , හොටෙල් එකක්  ඒ මොකුත් නැත්නම් ත්‍රී වීලර් පාර්ක් එකක ස්ලොට් එකක් හරි  මහින්දානන්ද එයාගේ තග් ගෝලයන්ට බෙදුවා. ඒ කාපූ කෑමට කෘතගුණ විදියට නාවලපිටියේ අයියලා මහින්දානන්ද එක දිගට අවුරුදු විස්සක්  උඩම උස්සලා තිබ්බා. හැමදාම පාර්ලිමේන්තු එව්වා. වෙන එකෙක්ට දේශපාලනය කරන්න තියා අන් මතයක් දරන්න බැරි තැනට නාවලපිටිය පත් කරා. බලය ,ප්‍රචණ්ඩත්වය ,මැර බලය මැදින් මහින්දානන්ද ඉන්ද්‍රඛීලයක් වගේ නොනැසී කාලාන්තරයක් හිටියා.


මහින්දානන්දත් ,2005 චන්ද්‍රිකාගෙන් ගැළවිලා රාජපක්ෂගේ ඔඩක්කුවට පැනලා ගත කරපූ ජනාධිපති වාර දෙකේදිම ආණ්ඩූවේ ලොකුම සයිස් ඇමති උනා.විදුලි බල , ක්‍රීඩා ,කෘෂිකර්ම වගේ බරපතළම අමාත්‍යයංශ ටිකක් එයා කරා. ඒ ඉන්නකන් නාවලපිටියේ එයාගේ ගෝල බාලයන්ගෙන් මිනිස්ට්‍රීස් ඔක්කොම පිරෙව්වා. මම කියන්නේ බොරුවක් වගේ නම් ගිහින් බලන්න විදුලි බල මණ්ඩලයේ , ක්‍රීඩා අමාත්‍යංශයේ මෙලෝ කර්‍යභාරයක් නැතුව පිනට කකා පඩි ගන්න මහින්දානන්දගේ ගොට්ටෙක් නැද්ද කියලා. 


 කොහොමෙන් කොහොම හරි  ගෝඨාභයගේ ආණ්ඩූවේ ,රාජපක්ෂ පවුලෙන් පිට ගෝඨාභය ගනුදෙනු කරපූ එකම ඇමති උනේ මහින්දානන්ද. ඒ ලෙවල් එකේ ඉදලා බන්ධනාගාරේ ප්‍රින්ටින් මැෂින් එකක් ඔපරේට් කරන්න වෙනවා කියන්නේ එක අතකින් ලංකාවේ Judiciary (අධිකරණය) එහෙම නැත්නම් නීතීය හා සාමයේ ආධිපත්‍ය තහවුරු වීම කියලා සාමාන්‍ය ජනතාවට සතුටු වෙන්න පුලුවන්. කාගේ කාලේ නඩුව දැම්මත් මේ ආණ්ඩුව නොහිටින්න මහින්දානන්ද මේ කපේට හිරේ යන්නේ නෑ කියලා සාමාන්‍ය බුද්ධියක් තියෙන මනුස්සයෙක්ට තේරෙන තර්කයක්.


වැදගත්ම දේ මාලිමාවට හෝ ජනාධිපති දිසානායකට බලයක් ලැබුනේ මහින්දානන්ද වගේ මිනිස්සූ ඇතුළට යවන්න විතරක් නෙවෙයි. මහින්දානන්දගේ සාම්පලේ දේශපාලන සංස්කෘතියම අවසන් කරන්න. මහින්දානන්දගේ නාවලපිටියේ උන්නූ දේශපාලන කුක්කන්ගේ නූගත් , අමන දේශපාලන භාවිතයට තිත තියන්න.ඒ එක්කම දේශපාලනේ ඉන්න , ඉඳපු සහ එන්න බලාපොරොත්තු වෙන්න ඉන්න ඕන කෙනෙක්ට ඇඟ හිරිවැටෙන තරමේ දඬුවමක් මේ ලැබුනේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයට ලැබෙන තීරණය අනුව අපිට ඒ දඬුවමේ බරපතළ බව මැනගන්න පුලුවන් වෙයි. ඒත් මුල්‍යමය වංචා විශේෂයෙන්ම රාජ්‍ය දේපළ අවභාවිතයට කිසිම සමාවක් නැත කියන පණිවිඩය රාජ්‍ය සේවයටම යවාගන්න පුලුවන් උනා මේ නඩු තීන්දුවෙන්.


අවුරුදු විස්සක් !! දශක තුනක තරුණ ජිවිත , මහජන මුදල් නාස්ති කරපූ මහින්දානන්දට මේ අවුරුදු විස්ස ඇතුළෙන් ඒ කරපූ පව් ටික ගෙවාගන්න පුලුවන් වෙයි .ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පස්සේ මේ ෆයිල් එකත් වහලා දාන්න ජනාධිපති දිසානායකට පුලුවෙන් වෙයි.


මනුජය තෙන්නකෝන්

2025-06-01


Jane Goodall සමුගනි.

   ආචාර්‍ය Goodall ගේ මියයෑම ලෝකයට පාඩුවක් කියලා මම මොහොතකටවත් හිතන්නේ නෑ.ඇය ඇගේ ජිවිතෙන් අවුරුදු 68 විතරම ගතකළේ සොබාදහමේ උන්නතිය වෙනුවෙන්.ව...