ලාංකීය ඉතිහාසයේ කේන්ද්‍රයම බල පෙරළිය ලෙස සැලකෙන්නේ වසර 1521 සිදුවු "විජයබා කොල්ලය" නම් වූ දේශපාලනික කුමන්ත්රණයයි. මෙරට ඉතිහාසගත වංශකතාවේ බොහෝමයක් වූ අනාගත සිදුවීම් හි මූලාංකුරය ලෙස සැලකෙන්නේ ඉහත කී විජයබා කොල්ලයයි.
කෙදිනකහෝ මෙරට විජයබා කොල්ලයක් සිදුනොවුනේ නම් පෘතුගීසින්ට එරෙහිව වන්නට කිසිවකු බිහිනොවිමටද , මායාදුන්නේ වැන්නකු බිහිනොවිමටද , සීතාවක රාජසිංහ රජ නොවිමටද ඒ ආකාරයෙන්ම පළමුවන විමලධර්මසූරිය රජ වීම හෝ ඒ අනුකාරයෙන් උපත ලැබූ උඩරට රාජධානිය බිහිනොවිමටද බොහෝ ඉඩකඩ තිබිනි.
මෙකී සටහන එලෙසින් මෙරට ඉතිහාසයේ වැදගත්ම දේශපාලනික බලපෙරළිය වූ "විජයබා කොල්ලය" හා අනුබද්ධිත සංසිද්ධීන් කිහිපයක් ඇසුරෙනි.
සිංහල සේනාව සහ පෘතුගීසින් අතර ගැටුමක සිතුවමක්
පුතුන්ගේ කුමන්ත්‍රණය
වර්ෂ 1505 දි පෘතුගීසින් මෙරටට පැමිණෙන විට කෝට්ටේ පාලකයා වූ අටවන වීර පරාක්‍රමබාහු රජුගෙන් සහ නවවන ධර්ම පරාක්‍රමබාහු රජුගේ ඇවෑමෙන් වර්ෂ 1510 දි රාජ්‍යයත්වයට පත් වූ සත්වන විජයබාහු රජුට පුතුන් තිදෙනෙකි.
බුවනෙකබාහු , රයිගම බණ්ඩාර සහ මායාදුන්නේ ඔවුන් තිදෙනා පිළිවෙළිනි. එයින් බුවෙනකබාහු මිළඟ රජ පදවියට රාජ සම්ප්රදාය අනුව උරුමකම් කී අතර බාලයා නොහොත් මායාදුන්න කුමාරවරුන් තිදෙනාම අතරින් වඩා කැපීපෙනෙනම සහ දක්ෂම කුමරු විය.
සත්වන විජයබාහු රජුගෙන් පසුව සිහසුනේ නිත්‍යානුකූල උරුමක්කරු වූ බුවනෙකබාහු කුමරු සිටියදි රජුගේ පරිවාර බිසවගේ පුත්කුමරකු වූ දේවරාජ කුමරුට සිහසුන ලබාදීම " විජයබා කොල්ලය " සඳහා මඟ විවර වූ සිදුවිමයි.දේවරාජ කුමරුට රාජ්‍යත්වය ලබාදිමට තීන්දු වීමත් සමඟ මාළිගයෙන් පිටවූ ස්වකීය කුමාරවරුන් තිදෙනා නැවත කෝට්ටේ රාජධානියට පැමිණෙන්නේ විජයබා කොල්ලයේ සාර්ථකත්වයෙන් පසුවයි.
මෙලෙසින්
වර්ෂ 1521 දි විජයබා කොල්ලය සිදුවී කෝට්ටේ රාජධානිය රයිගම සහ සීතාවක ලෙසට උප රාජධානි දෙකකට වෙන්වී යන මොහොතේ වැඩිමහල් කුමරු වූ බුවනෙකබාහු කුමරු සත්වන බුවනෙකබාහු නම්න් කෝට්ටේ රාජධානිය මුල් කොට රාජ්‍යයත්වයට පත්වූ අතර රයිගම් බණ්ඩාර විසින් රයිගම කෝරළය ද , බාලයා වූ මායාදුන්නේ විසින් සීතාවකද , සිය පාලන තන්ත්රයට තෝරාගන්නා ලදි. නමුත් රයිගම බණ්ඩාරගේ සිදුවු හදිසි අභාවය සමඟ මායාදුන්නේ විසින් රයිගම් කෝරළයද සිය සීතාවක රාජධානියට ඈදාගත් අතර බුවෙනකබාහු විසින් අනාගත අභිවෘද්ධිය තකා පෘතුගීසින් සහ හාද වන්නට විය. එයට හේතුව මායාදුන්නේ ඉතා ශූර පාලකයකු විමයි. විජයබා කොල්ලයෙන් පසුව කෝට්ටේ පාලන කළ සත්වන බුවනෙකබාහු හට මායාදුන්නේගෙන් සහ ටිකිරි බණ්ඩාර කුමරුගෙන් (පසුව සීතාවක රාජසිංහ නමින් රාජ්‍යත්වයට පත් වූවේ මෙම කුමරු ) දැඩි සේ බලපෑම් එල්ල වන්නට විය. ඒ නිසාවෙන්ම සිය සහෝදරයාගේ බලපෑමෙන් මිදිමට වෙළඳාමේ අභිප්‍රායෙන් පැමිණි පෘතුගීසින් හට කෝට්ටේ නගරය තුළට පැමිණිමටත් රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරිමටත් බුවනෙකබාහු රජු විසින් මඟ විවර කර දුන්නේ ය. එහි සැබෑ අභිප්‍රාය වූවේ සීතාවකින් සහ රයිගමෙන් කෝට්ටේ පාලනයට ඇතිවූ අතවරයන්ගෙන් ආරක්ෂා විමයි. නමුත් පාර්ශව දෙකක් අතර බල අරගලයක් හේතුකොට තුන්වන පාර්ශවයක් ඒ සඳහා ඒකාබද්ධ වීමත් සමඟ එතෙන් නොතිබූ සැබෑ ආරවුල ඇරඹුනි.
සීතාවක රාජධානියේ වර්තමානයේ ස්භාවය
රටේ අභයන්තර අරගල සහ මායාදුන්නේගේ අවිචාරශිලී ක්‍රියාපිළිවෙත නිසාවෙන් අන්‍ය ජාතියකගේ සහය පැතිමට බුවනෙකබාහු රජුට සිදු වුවද ඔහු සැබෑ බෞද්ධ රජකු විය. වරක් පෘතුගීසින් විසින් මෙරටට එවූ ෆ්රැන්සිස්කානු පුජකයන් පිරිසකට මෙරට තුළ ආගම ප්රචාරනයට ඔහු ඉඩ හසර ලබානොදුන්නේ ඒ නිසාවෙනි.
නමුත් සිය දියණිය හා වීදීය බණ්ඩාරට දාව උපත ලද ධර්මපාල කුමරුගෙ අනුරුවක් රනින් කරවා එම රන් රුව පෘතුගීසියේ දි දොන් ජුවන් ධර්මපාල නමින් බෞතිස්ම කිරිමට පෘතුගීසින් කටයුතු සම්පාදනය කළේ බුවෙනකබාහු රජු හරහා සිදුකරගැනිමට නොහැකිවූ ආගම ප්‍රචාරනය නම් කරුණ සාක්ෂාත් කරගැනිමේ අරමුණෙනි. පසුව එනම් 1580 වසරේදි කෝට්ටේ රාජධානිය තෑගි ඔප්පුවකින් පෘතුගීසින් හට ලියා දෙන්නෙද මෙම කුමරු විසිනි.
පෘතුගීසින් සහ බුවනෙකබාහු රජු අතර මුල් යුගයේ ඉතා හොඳ මිත්‍රත්වයක් තිබිනි. මිත්‍රත්වය අහෝසිවි යන්නේ බුවනෙකබාහු රජු විසින් ක්‍රිස්තියානි ආගම වැළඳගැනිම ප්‍රතික්ෂේප කිරිමත් සමඟයි. සිංහලයේ රජු වශයෙන් තමන් බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු බව එතුමන් ප්‍රකාශ කිරිමත් සමඟ එතෙක් කොට්ටේ පාලනයට සහ බුවනෙකබාහු රජුගේ මුණුබුරා වූ දොන් ජුවන් ධර්මපාල නොහොත් ධර්මපාල කුමරුට පෘතුගීසින් විසින් සැපයූ ආරක්ෂාවද කෙමෙන් කෙමෙන් ලිහිල් කෙරිනි. 1551 වර්ෂයෙදි එනම් සිය අසූදෙවන වියේදි එල්ල වූ වෙඩි පහරකින් හත්වන බුවනෙකබාහු රජු මියගිය අතර පෘතුගීසින්හට ඍජුවම බාධාවක් වූ එක් බලවේගයක් එලෙසින් අවසන් කෙරිනි. මෙය පෘතුගීසි ඝාතනයක් වූවද ඉතිහාසයෙ යම් තැනක සඳහන් වන්නෙ මෙම ඝාතනයද මායාදුන්නේ විසින් සිදුකළ එකක් බවයි. එහි සඳහන් වන තවත් සැකයක් වන්නේ මෙය අත්වැරදිමකින් සිදුවු වෙඩි පහරක් බවයි. කෙසේ හෝ සත්වන බුවනෙකබාහු මියයාමත් සමඟ කෝට්ටේ පාලනය ළාබාල ධර්මපාල කුමරු අතට පත්විය. සැබැවින්ම රජු ඔහු වුවද සැබෑ පාලකයන් පෘතුගීසින් විය.
කූට මායාදුන්න
1557 වසර වන විට කෝට්ටේ රාජධානියේ භූ සැකැස්ම
විජයබා කොල්ලයේ වැඩිම කර්තව්‍යයක් සිදුකළෙ මායාදුන්නෙ විසිනි නමුත් පසුව ප්‍රධාන රාජධානිය වූ කෝට්ටේ පාලනය සිය වැඩිමහල් සහෝදරයා වූ සත්වන බුවනෙකබාහු ලබාගැනිමත් සමඟ මායාදුන්නෙගේ ක්‍රියා පිළිවෙත වඩාත් දරුණුවන්නට විය. ඔහුගේ ප්‍රධාන අභිප්‍රාය වූවේ කෝට්ටේ රාජ්‍යත්වය දිනාගැනිම බැවින් ඒ සඳහා ඔහු වරින් වර විවිධ පාර්ශවයන් හි සහය අපේක්ෂා කළේ ය. වරෙක ඔහු පෘතුගීසින් සමඟ හිතැති පිළිවෙතක් අනුගමනය කළද වරෙක ඔහු ඔවුන් සමඟ මුල්ලේරියා සටන වැනි දරුණු සටන් සඳහාද පෙළඹුනි. සත්වන බුවනෙකබාහු රජු සමඟද ඔහුගේ ගනුදෙනුව මේ ආකාරයෙන්ම විය. එකල උඩරට රාජධානියේ රාජ්‍යත්වය දැරූ සේනා සම්මත වික්‍රමබාහු රජු සහ පෘතුගීසින් එක්ව කෝට්ටේ ආක්‍රමණය කිරිමේදි මායාදුන්නේ ගේ සහය ලබාදුන්නේ කෝට්ටේ පාලකයා වු සත්වන බුවනෙකබාහු හටයි.
එම සටනෙදි ගෝවේ ප්රතිරාජ වූ දොන් ජෝආ ද කැස්ත්‍රෝ විසින් එවු සේනාංකය පරාජය කරන ලද්දේ ද මායාදුන්නේ ප්රමුඛ සීතාවක සේනාව විසිනි.
සීතාවක ඉතිහාසය පිරික්සා බැලිමේදි මායාදුන්නේ ගේ මෙවැනි කූට උපායන් සහ සැලසුම් රැසක් හමුවේ. ඔහු එවැනි පිළිවෙත් අනුගමනය කළේ සිය පාලනය ස්ථිර කරගැනිමටද නැතිනම් පෘතුගීසින් පලවා හැරිමේ නිර්මල චේතනාවෙන්ද යන්න නිවැරදිවම සනාථ නොවු කරුණකි.
ඔහූ සත්වන බුවනෙකබාහු නොහොත් සිය වැඩිමහල් සහෝදරයා හා අමනාප විමේ ආසන්නතම සිදුවීම වුවේ වීදිය බණ්ඩාර සහ සත්වන බුවනෙකබාහුගේ ස්වකීය දියණිය අතර සිදුවූ විවාහා මංගල්‍යයි. මායාදුන්නේගේ අදහස වූවේ සිය පුත්‍රයා වූ ටිකිරි බණ්ඩාර කුමරු බුවනෙකබාහු රජුගේ දියණියට විවාහ කොට දී නිත්‍යානුකූලව රාජ්‍ය පාලනයට ඇතුළත් වීමයි. නමුත් උක්ත විවාහ මංගල්‍යය සමඟ එම සැලසුම ව්‍යාර්ථ විය.
මෙම සිදුවීම පාදක කොට පහර කෑ නාගයකු මෙන් කෝපාවිෂ්ටව නැවත කොට්ටේ ආක්‍රමණය කිරිමට සැරසුනු මයාදුන්නේ ඒ සඳහා කැලිකට් හි සැමොරින්ගේ උපකාරය බලාපොරොත්තු විය. මායාදුන්නේ මේ ආකාරයෙන් ඕනෑම අසීරු අවස්ථාවක සතුරු හෝ මිතුරු ලෙස ඕනෑම පාර්ශවයක සහය උපායශීලීව ලබාගත්තේ ය. නමුත් මේ අවස්ථාවෙදි මායාදුන්නේගේ උපාය වැරදුනි . කොළඹ සීමාවේ කැළණිය ආසන්නයේදී සත්වන බුවෙනකබාහු රජුගේ සේනාවෙන් සහ ගෝවේ ප්‍රතිරාජයාගේ අණින් පැමිණි පෘතුගීසි සෙන්පතියකු වු මිගෙල් පෙරේරාගෙ පෘතුගීසි හමුදව හමුවේ මායාදුන්නේ දරුණු ප්‍රහාරයකට ලක්විය. පරාජය වූ එම යුද්ධයේ සියලුම යුධ වියදම් මායාදුන්නේ සහ සීතාවක රාජධානිය තනිව දැරිමට සිදුවූ අතර නැවත කෝට්ටේ රාජධානිය සමඟ සාම ගිවිසුමකටද ඔහූ ඒ.. සමඟම පිවිසුනි .
කිසිදිනක කෝට්ටේ රාජ්‍යත්වයට පත්විමට වරම් නොලද සත්වන බුවනෙකබාහු රජුගේ බාල මලනුවන් වූ මායාදුන්නේ රජු සීතාවක සිය රාජ්‍යය කොට සලකා වසර හැටක් රාජ්‍ය පාලනය කළ අතර ඔහුගේ මරණයද මහාවංශයට සහ සුළු රාජරත්නාකරයට අනුව විවාදසම්පන්න සිදුවීමකි.
ටිකිරි බණ්ඩාර නොහොත් පළමුවන රාජසිංහ
ටිකිරි බණ්ඩාර කුමරු මායාදුන්නේ විසින් මෙහෙයවු දරුණු සටන් සියල්ලකම පාහේ ඉදිරිපෙළ සටන්කරු විය. වර්ෂ 1544 උපත ලැබු බව සැලකෙන ටිකිරි බණ්ඩාර කුමරු 1559 වසරේ ඇවිළුනු මුල්ලේරියා සටන මෙහෙය වන විට යාන්තමින් පහළොස්වන විය ඉක්මවමින් සිටියේ ය. නමුත් පැරණි පතපොතේ සඳහන් වන අන්දමට සිය ජවාධික අසු පෘතුගීසි සේනාව මැදට පැන්නවු ටිකිරි බණ්ඩාර කුමරු සිය අසිපත විදුලි වේගයෙන් හසුරවමින් මුල්ලේරියා සටන ජයග්‍රහණය කළේය.ඔහූ අංගම් සටන් කලාවේ කෙළපැමිණි සටන්කරුවෙකි. මායාදුන්නේ පෘතුගීසින්ට යම් තරමින් දරුණු වුවේද ටිකිරි බණ්ඩාර කුමරු ඒසා දස දහස් ගුණයකින් කෲර පාලකයකු විය. පෘතුගීසි පාලන සමය තුළ ඔවුන්ට දැඩි ලෙස අලාභානියක් සිදුකළ සිංහලයේ රජු ලෙස සැලකෙන්නේ සීතාවක රාජසිංහ රජුය.
මායාදුන්නේගේ මරණය සිදුවූ බව සැලකෙන 1581 වසරේදි ටිකිරි කුමරු සීතාවක රාජසිංහ නම්න් රාජ්‍යත්වයට පත්විය.
සීතාවක රාජසිංහ රජුට පිතෲ ඝාතක චෝදනාව එල්ල වුවද එය විවාදාත්මක කතිකාවතකි. අලකේෂ්වර මුලාශ්‍රයට අනුව මායාදුන්නේට පුතුන් තිදෙනෙකි. ඔවුන් පිළිවෙළින් මහරද දරු බණ්ඩාර , තිඹිරිපොළේ මහරද දරු බණ්ඩාර සහ සන්තාන බණ්ඩාරයි. මෙහි ටිකිරි බණ්ඩාර පිළිබඳ සඳහනක් නොමැත. නමුත් තිඹිරිපොළේ මහරද දරු බණ්ඩාර සත්කෝරළෙ පාලනය සිදුකරනවිට. සීතාවක පාලනය කෙරූ රාජ්‍යත්වයට උරුමකමක් නොතිබූ ටිකිරි බණ්ඩාර නැමැත්තකු පිළිබඳ තොරතුරු සඳහන් වේ. එමෙන්ම පෘතුගීසි ජාතික ලේඛකයකු වූ Fernão de Queyroz ගේ The Temporal Spiritual Consquest of Ceylon කෘතියේ 468-469 පිටට අදාළව ටිකිරි බණ්ඩාර යනු මායාදුන්නේ ගේ අවජාතක පුත්‍රයායි. නමුත් මෙම ලේඛනය පෘතුගීසි ලේඛකයකු අතින් ලියවූවක් නිසාවෙන් එහි සත්‍යයතාව පිළිබඳවද පැහැදිලි නිශ්චිතතාවයකට එළඹිමට නොහැක. එමෙන්ම සීතාවක රාජසිංහ රජු යනු ඇසක වපරයක් තිබූ රාජ්‍යත්වය පත්වීමට සඳහා ශාරීරිකව නුසූදුසු පුද්ගලයකු බවද පැවසේ. මේ සියලූම කරුණු අනුව ඔහුගේ පිතෘ ඝාතන චෝදනාව පිළිබඳ එකිනෙකෙහි වෙනස් මත කිහිපයක් පවති.
පළමුවන විමලධර්මසූරිය රජු
නමුත් මහාවංශයට අනුව පැහැදිලිවම ටිකිරි බණ්ඩාර කුමරු පිතෘ ඝාතකයකු වන අතර මායාදුන්නේ ඝාතනයෙන් පසුව එම පිතෲඝාතන කර්මය බෞද්ධාගමික පිළිවෙත් අනුව ඉවත් කළ නොහැකි බව බෞද්ධ භික්ෂුන් වහන්සේලා දැනුවත් කළ බැවින් බෞද්ධ සංඝයා සහ බෞද්ධ විහාර සමඟ හටගත් දැඩි කෝපයෙන් යුක්තව කටයුතු කළ බවත් වෙහෙර විහාර රාශියක් විනාශ කළ බවත් එහි සඳහන් වේ. මෙකල දළදා වහන්සෙ දෙල්ගමුවේ කුරහන් ගලක් තුළ සඟවන ලද්දේද සීතාවක රාජසිංහ රජුගේ උවදුරෙන් ආරක්ෂා වීමටය. පසු කලක එය කන්ද උඩරටට ගෙන එන ලදි. එකල රාජසිංහ රජුගෙන් එල්ල වූ තාඩන පීඩන හමුවේ බොහෝ භික්ෂුන් වහන්සෙලා සිවුර හැරයමින් දිවි රැකගත් බවද මහාවංශයේ 93 වන පරිච්ඡේදයේ සඳහන් වේ.
බෞද්ධාගම ප්‍රතික්ෂේප කළ සීතාවක රාජසිංහයන් ශිව ආගම වැළඳගත් බවත් අරිට්ඨ කීවෙණ්ඩු නම් මනම්පෙරුම මොහොට්ටයා සමඟ යාග හෝම පැවැත්වූ බවද එහි සඳහන් වේ. එමෙන්ම ශ්‍රි පාද අඩවිය භික්ෂූ පාලනයෙන් ඉවත්කොට ආඬින් හට පවරාදිමද ටිකිරි බණ්ඩාර නොහොත් පළමුවන රාජසිංහයන් විසින් මෙකල සිදුකළේ ය.මෙය නැවත බෞද්ධ භික්ෂුන්වහන්සේලා සඳහා ලබාදිමට කටයුතු සිදුකළේ පළමුවන විමලධර්මසූරිය රජු විසිනි.
අවිචාරවත් වසර තිස් නමයක පාලනයෙන් පසූ විජයබා කොල්ලයෙන් උපත ලබාදුන් සීතාවක රාජසිංහ රජු පෙත්තන්ගොඩ උයනේදි විෂ උණ කටුවක් ඇනිමෙන් මරණයට පත්විය.
රාජසිංහයන්ගේ මරණයෙන් දශක හතරක් ගෙවුන තැන රචනා වූ සුළු රාජරත්නාකරයට අනුව ඒ පිළිබඳව මෙසේ සටහන් කොට ඇත.
රාජසිංහ රජුගේ පාදයේ විෂ උණ කටුවක් ඇනුනු පෙත්තන්ගොඩ උයන
"පිය රජහු මරා සීතාවක රාජසිංහ නම් රජව ලක්දිව එක්සත් කොට ශිව භක්ති ගෙන ලෝක ශාසන නසා අධර්මයෙන් රාජ්‍යය කොට අපාගත විය. "
සුළු රාජරත්නාකරය : වර්ෂ 1639
මෙරට රාජාවලි ඉතිහාසයේ බොහෝ සිදුවීම් මේ ආකාරයෙන් ලේ වැගිරීම් සහ ඝාතනයන්ගෙන් කෙළවර වූ අතර එහි උච්චතම අවස්ථාව වූ විජයබා කොල්ලයෙන් පෝෂණය ලැබූ සත්වන බුවනෙකබාහු , දොන් ජුවන් ධර්මපාල ,මායාදුන්නේ සහ සීතාවක රාජසිංහ පාලනයෙන් පසුව සිංහලයෙ කිරුළ කන්ද උඩරටට ස්ථානගත විය.
❤💟👍
ReplyDelete😇🤩👏
ReplyDelete❤
ReplyDelete❤️❤️🔥
ReplyDelete❤👍
ReplyDelete