විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් පිළිබඳව ලාංකීය සමාජයේ අවධානය බරපතළව යොමු විම ආරම්භ වූවේ 1971 ජවිපේ පළමු කැරැල්ලෙන් නොව. එය ආරම්භ වූනේ 1983 දි ජනාධිපති ජයවර්ධන විසින් සියලූම සමාජවාදි පක්ෂ තහනම් කිරිමත් සමඟ ඇතිවූ දේශපාලනික භූකම්පනය සමඟයි
.
විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය සංගමයක් හෝ කැඳවිම තහනම් කළ එජාප ආණ්ඩුවට එරෙහිව යටිබිම්ගත දේශපාලනයට උචිතම උපක්‍රමය වූවේ උගත් , ජවාධික විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ඒ නිසාවෙන්ම එකල වූ ශිෂ්‍ය නායකයන්ද මෙකල කැපී පෙනෙමින් පසුකලක ජවිපේ දේශපාලන මණ්ඩලය තුළට පවා ඇතුළත් විනි.
මගේ වෑයම එකී සිසූ විරුවන් උත්කර්ෂයට නැංවීම හෝ ඔවුනගේ ක්‍රියාපිළිවෙත විවේචනය කිරිම නොවේ. මට උවමනා වී ඇත්තේ මෙතරම් උගත් තරුණයන් පිරිසක් ඊට වසර දහයකට නොඅඩූ ඉතිහාසයක අන්ත පරාජයට පත්වුනු 1971 කැරැල්ලේ උණුසුම යෑමටත් පෙර තවත් එවැනි සන්නද්ධ අරගලයකට අත එසවීමේ තර්කය සහ ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කළ සිතිමේ ක්‍රියාවලිය (Thought process ) වටහා ගැනිමයි.
මෙය තේරුම් ගැනිමේ පහසුව තකා උදාහරණ හයකට පිවිසෙන්නම්.
මං පළමු උදාහරණය ලෙස ඒ වනවිට ජවිපේ ඉහලම තැනක සිටි ආනන්ද ඉඩමේගම නොහොත් ධම්මිකව ගන්නම්. ඔහූ බදුල්ලේ ,සොරණාතොට ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාසයේ කන්දේගෙදර ඉඩමේගම උපන්නෙක්. ඔහු පේරාදෙණිය ඉංජිනේරු පිඨයට පැමිණෙන්නේ ගණිත අංශයෙන් දිවයිනේ දෙවැන්නා වෙමින්. අවසානයෙ 1990 ජනවාරි 12 දින ඔහුව දඹුල්ලේදි ඝාතනය වන විට අවුරුදු 29 තරුණයෙක්.
![]() |
ආනන්ද ඉඩමේගම නොහොත් ධම්මික |
දෙවැන්නා වෙනුර වර්ධිත එදිරිසිංහ. 1984 වසරේ කොළඹ රාජකීයේ වසර අවසාන ත්‍යාග ප්‍රදානෝත්සවයේ
උද්භිත විද්‍යාවට පිදෙන ඇල්ෆ්‍රඩ් ඇන්ඩීස් සම්මානය ,
ජීව විද්‍යාවට පිදෙන F T වීරසූරිය සම්මානය,
උද්භිත / සත්ව විද්‍යාවට පිදෙන තිස්ස වික්‍රමසිංහ සම්මානය
සහ දක්ෂතම සිසූවාට පිදෙන M.ගුණරත්නම් අනුස්මරණ සම්මානය යන සියල්ල ලබන්නේ ඔහූයි. 1985 කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයට වෙනුර පැමිණෙන්නේ ද දිවයිනේ ප්‍රථමයා වෙමිනි. නමුත් අවුරුදු 23 පසුවන විට ඔහු තෝරාගත් දේශපාලන ධාරාවෙන්ම ඔහුගේ දිවි අවසන් කෙරිනි. රජයේ හමුදා විසින් කොල්ලූපිටියේදි පැහැරගත් ඔහූව තිඹිරිගස්යායේ හෙන්රි පේද්‍රසි වධකාගාරයෙදි මරා දැමුවේය.
තෙවැන්නා කමල් නොහොත් සිරාජුසීන් මොහොමඩ් නිෂ්මි. ආනන්ද ඉඩමේගම හරහා ජවිපේ පූර්ණකාලීනයෙක් වූ ඔහූ විශ්වවිද්‍යාලය තුළ අනායාසයෙන් දක්ෂතා දක්වන්නෙක් විය. කැප්ටන් ගාමිණි හෙට්ටිආරච්චිගේ RDF (Rapid deployment force ) හරහා අත්අඩංගුවට ගත් නිෂ්මි ලුතිනන් මුතාලිෆ් ගේ අණුදැනුම මත ඔප්ස්කොම්බයින් හිදි 1990 අප්‍රේල් මස දිනක ඝාතනය කරන ලදි. අද්වීතීය අනාගතයකය උරුමකම් කී නිෂ්මි මියයනවිට යාන්තමින් අවුරුදු 30 ලැබුවා පමණි.
![]() |
නිෂ්මි |
සිව්වැන්නා වෙනුර එදිරිසිංහගේ ජේෂ්ඨ කාමර සගයා වූ පද්මසිරි ත්‍රිමාවිතාන. අම්බලන්ගොඩෙන් කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණි ත්‍රිමාවිතාන සිව්දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහලා. 1988 මූසල ඔක්තෝම්බරයේ පැහැරගෙන ගොස් හිසට පරාල ඇණ ගසා ඝාතනය කෙරූ 24 හැවිරිදි තරුණයා අනාගතයේ දිනක වෛද්‍යවරයෙක් වීමට සිටි අයෙකි. ඔහූගේ සමකාලීනයන්ට අනූව අවුරුදු 23-24 ඔහූ අන්තරය තුළ හැසිරෙමින් ශිෂ්‍යයන් මෙහෙයවූ ආකාරය අදටත් සිතා ගැනිමට අපහසු බවයි. ඒ දැක්වූ පරිණතභාවය ත්‍රිමාවිතාන වැනි ගැටයෙකුගෙන් කිසිවිටක අපේක්ෂා නොකරන්නකි.
![]() |
ත්‍රිමාවිතාන විශ්වවිද්‍යාලයේදි |
පස්වැන්නා වත්මන් පෙරටූගාමී පක්ෂයේ ලේඛම් කුමාර් ගුණරත්නම් ගේ වැඩිමහල් සහෝදරයා වූ රන්ජිතම් ගුණරත්නම්. ඔහූ පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පිඨයේ අධ්‍යාපනය ලබන විට උදලාගම කොමිසම හරහා සිසූබාවය අහෝසි වූවෙකි. ධවල පත්‍රිකාවට විරුද්ධ සටන , 1987 මැයි දින සටන වැනි සටන් මෙහෙයවූ සරසවි ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිටි දක්ෂතම , තර්කානූකූලම සිසු නායකයා ලෙස සැලකෙන්නේ ඔහුයි.භාෂා ත්‍රිත්වයෙන්ම සභාවක් ඇමතිමේ හැකියාව උරුම වූ ඔහූ ජවිපේ පූර්ණකාලීනයෙක් වීමත් සමඟ කුරුණෑගල පක්ෂ නායකත්වයේ කටයුතු කළේය. 1989 නොවැම්බර් මස කොළඹදි ඔහූව ඝාතනය කරන විට ගුණරත්නම් ජවිපේ මධ්‍යම කාරක සභාව තුළද අසුන්ගෙන සිටි බවද පැවසේ. රන්ජිතම් ඝාතනය වන විට අවුරුදු 30 කි.
![]() |
රන්ජිතම් ගුණරත්නම් |
සයවැන්නා සහ අවසානයා සූප්‍රකට දයා පතිරණ. ජවිපේ දේශපාලනයෙන් අපගමනය වු ඔහූ කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා විය. දයා පතිරණව ජවිපේ ආගිරිස් කොස්තා ඇතුළු සන්නද්ධ අංශය (දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය) බොල්ගොඩදි ගෙල කපා ඝාතනය කරන විට අවුරුදු 24 සුහුඹුල් තරුණයෙකි.සරසවියට පැමිණිමට පෙර වාමාංශික දේශාපාලනයේ ඉව දැනී තිබූ පතිරණ කොතරම් ආවේගශීලී පුද්ගලයෙක් වුවද දේශපාලනික කියවීම සහ අවබෝධය තිබූ අයෙකි.පාසල් සමයේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ඔහූ දේශපාලනය නිසා ඒ සියල්ල නැවතු අයෙකි.
![]() |
දයා පතිරණ විසි හතරවන වියේදි |
මා උදාහරණ ගෙන දැක්වූ සය දෙනාට අමතරව මොරටූවේ දෙවන වසරේ සිටි නිමල් බාලසුරිය , ජයවර්ධනපුර සිට උදලාගම කොමිසමෙන් ශිෂ්‍යභාවය අහෝසි වූ H.B හේරත් , කොළඹ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ දයා පතිරණගේ මරණයෙන් පසූව නායකත්වයට පත්වූ K.L ධර්මසිරි සහ උදේනි බන්දූල දිසානායක යන අයද සෑම අතින්ම හැකියාවන් පෙන්වු තරුණයන්ය.අවාසනාවට මේ කිසිවෙක් තමාගේ ජිවිතේ තුන්වන දශකයෙන් එහා දකින්නට වරම් නොලද්දෝය.
ඔවුනට වැරදුනාද ?
මගේ කියවිම නම් මේ බොහෝදෙනා මාක්ස්වාදය හෝ දේශපාලනික භාවිතය හොඳින්ම උගත අය බවයි. ඔවුන් සියලූ දෙනාම දීප්තිමත් වෘත්තීමය අනාගතයක් දැක දැක පූර්ණකාලීනව දේශපාලනය තෝරගත් අයයි. කොටින්ම ජවිපේ විජේවීරගේ ඝාතනයෙන් පසූ නායකත්වයටත් පත් වූ සහ ජවිපේ සන්නද්ධ අංශයේ නායකයාවූ කීර්ති විජයබාහූ නොහොත් සමන් පියසිරි ෆ්‍රනෑන්ඩෝ පවා කැළණිය විශ්වවිද්‍යාලයේ වාණිජ අංශයේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා විය. ඒ නිසා මේ කිසිවකු කරන්නට දෙයක් නොමැතිව දේශපාලනය කළ අය නොවේ.සියල්ලෝම අවබෝධයෙන් මේ මාර්ගය තෝරාගත්තෝය.
අනෙක් වැදගත් කාරණය. ඔවුන් මේ සටන් කළේ ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසමින් ලුම්පන් පාලනයක් රැගෙන ගිය ජයවර්ධන ජනාධිපතිටත් , ඔහූගේ අනුප්‍රාප්තිකයා වූ ප්‍රේමදාසටත් , ප්‍රේමදාසගේ දඩබල්ලා බඳූ වූ රන්ජන් විජේරත්නටත් විරුද්ධවය. මගේ අදහස නම් මේ බොහෝ දෙනා ඔවුන්ගේ මරණය ස්ථිර බවත් එය පැමිණෙම වෙලාව පමණක් වෙනස් වන බව දැනසිටි බවයි. එය නිර්භීතබවද , අඥන බවද , තාරුණ්‍යයෙම් ඔද වීමද යන්න මට තේරුම් කරගත නොහැක. මං නැවත නැවත කියන්නේ මේ බොහෝ දෙනා අවම මම ජිවත් වු තරම් කාලයක්වත් ජිවත් වී නැත. අවංකවම මම ඔවුන්ගේ දෘෂ්ටි කෝණයෙන් ඒ මොහොත සිතිම පවා වේදනාවට කරුණකි.
"මුං කොහොමද මෙහෙම කරේ ? ඒ මම මගෙන් නිතරම අහන පැනයයි."
මේ ලියවීමේ අවසාන කාරණය නම් දශක දෙක හමාරක ජීවන අත්දැකීමක් ඇති කොලූ ගැටයන් පිරිසක් අතිවිශාල සිසු පිරිසක් මෙහෙයවමින් , ආණ්ඩූ විරෝධී උද්ඝෝෂණ සංවිධානය කරමින් , පෙළපාලි යමින් , අධ්‍යාපන කව පවත්වමින් , විප්ලවය විශ්වාස කරමින් වැඩ කිරිමම මට විස්මයකි (ඔවුන්ට පක්ෂවලින් මඟපෙන්වීම ලැබෙන්න ඇති , නමුත් සරසවි පොළවේ අපහසු කොටස කළේ ඔවුන්ය).
ඒ විස්මයට හේතුව නම් ෆස්ට් ක්ලාස් එකක් , ආචාර්‍ය උපාධි අවස්ථාවක් , වඩා යහපත් වෘත්තියක් වැනි ධනය මූලික හේතුන් වෙනුවන් වෙහෙස වූ විශ්වවිද්‍යාල බබාලා අනන්තවත් දැක ඇති මට මේ මියගිය තරුණයන් එක්තරා ආකාරයක සිහිනයක් විමයි.
ලිපියේ අවසානයේ අදාළ තේරුම් ගැනිමේ සන්දර්භය නම්
"මැරෙන බව දැන දැන තවත් ඉදිරියට යාමට නම් එක්කෝ ඔබ මෝඩයෙක් විය යුතුයි.නැතිනම් ඔබ අසමසම පරාර්ථකාමියෙක් විය යුතුයි."
ඉහතින් සඳහන් තරුණයන් අයිති වන්නේ කුමන කාණ්ඩයටද යන්න තේරිම ඔබේ කාර්‍යකි.
මනුජය තෙන්නකෝන්
2025-06-11
👌
ReplyDelete